NEWS

වැඩට ගත් බාලවයස්කාර දරුවන් යලි නිවෙස් වෙත යවන්න සහන කාලයක්

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදාගෙන සිටී නම් එම දරුවන් හැකි ඉක්මනින් නිවෙස් වෙත පිටත්කර හරින ලෙස හාම්පුතුන්ට දැනුම් දෙනවා. ඊට අවනත නොවන අය සම්බන්ධයෙන් ඉදිරියේදී නීති මගින් කටයුතු කරනවා’’ යැයි ප්‍රවාහන සහ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් විශාල සංඛ්‍යාවක් මෙහෙකාර සේවයේ නිරතව සිටින බවට තොරතුරු හෙළිව තිබෙන බවත් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා දැන් ආරම්භ වී තිබෙන නිසා එම දරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර යැවීමට හාම්පුතුන්ට කිසිදු බාධාවක් නැති බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියා.

මෙසේ මෙහෙකාර දරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර හැරීමට ලබාදී තිබෙන කාලයේ හාම්පුතුන් කිසිවකුත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඊට නිසි ප්‍රතිචාර නොදක්වන හාම්පුතුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය හා ඒකාබද්ධව ප්‍රජා පොලිස් නිලධාරීන් වැටලීම් කිරීමට සූදානම්.

සෑම ග්‍රාමසේවා වසමකටම ප්‍රජා පොලිස් නිලධාරියෙක් සේවය සඳහා යොදාවනවා. ග්‍රාම නිලධාරි, සමෘද්ධි නියාමක, සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලුදෙනා සමග එකතු වී ඔහු සේවය කරන නිසා ග්‍රාමීය වශයෙන් සිදුවන නීති විරෝධී ක්‍රියා පහසුවෙන් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා.’’ යැයිද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (02) මහනුවරදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.