NEWS

මෙවර වියදම් කපන අයවැයක්

2022 වර්ෂයේද උපරිම වියදම් සීමා අමාත්‍යාංශවලට පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඇති වූ අස්ථාවර බව නිසා නව ඉදිකිරීම්, කාර්යාල පුළුල් කිරීම, නව ලී බඩු හා කාර්යාල උපකරණ ලබා ගැනීම, නව බඳවා ගැනීම්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යටිතල පහසුකම් හැර නව ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, වාහන මිලදී ගැනීම්, ආර්ථිකය යථාවත් වනතුරු සීමා කිරීමට අමාත්‍යාංශය සූදානම් වෙයි.

ලබන වසරේදී සෑම රාජ්‍ය ආයතනයක්ම සිය කාර්යයන් මගින් ආදායම් ඉපයීම වැඩි කිරීමට හා නව ආදායම් මාර්ගවලට යොමු වීමද අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. දළ දේශීය නිෂ්පාදිතයට මධ්‍යම රජයෙන් ණය ගැනීම්ද සියයට 95 දක්වා අඩු කිරීමට නියමිතය. 2022-2024 මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශය සකස් කළ ලේඛනවල මෙම කරුණු ඇතුළත් වෙයි.

2022 වර්ෂයේ උද්ධමනය සියයට පහක අගයක පවත්වාගෙන යාමට හා සේවා වියුක්ති අනුපාතය සියයට හතරට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කාබනික කෘෂිකර්මාන්තය හා සැමට ජලය යන රජයේ ප්‍රමුඛ අරමුණුවලට අවධානය යොමු කරමින් අයවැය යෝජනා සකස් කිරීමටද නියමිතය.

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත. අයවැය කථාව නොවැම්බර් මස දෙවන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.