NEWS

15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ ජාවාරම්කරුගේ පැටිකිරිය හෙළිවෙයි

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම දැනුම් දීම සිදුකර සිටියා.

ඒ අනුව ප්‍රධාන සැකකරු විසින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව එම කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේ.

වැඩිදුරටත් අධිකරණය කරුණු දැක්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර දැරිය නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයින්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් මුදල් උපයාගෙන ඇතැයි ද පෙන්වා දෙනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ වින්දිත දැරිය ගණිකාවක් වශයෙන් තමා අධිකරණය කිසිසේත් නොසලකන බවයි.