NEWS

පාසැල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත

වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. ඒ අනුව ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කර තිබේ.

රජයේ පළමු ඉලක්කය වන්නේ මිලියන 11.5ක පිරිසකට එන්නත ලබා දීම වන බවත් සඳහන් කර ඇති බවත්, දෙවැනි ඉලක්කය වන්නේ වයස අවුරුදු 12 – 30ත් අතර පිරිසට එන්නත්කරණය සිදුකිරීම බව ද පවසා ඇත.

ඒ අනුව පළමුවෙන් වයස අවුරුදු 12 – 18 ත් අතර පාසල් සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය සිදුකර අවසන් කරන බවයි එතුමා සඳහන් කර සිටියේ.

එසේම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදීයාමේ දී 90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද ලලිත් වීරතුංග මහතා පෙන්වා දුන්නේ.