NEWS

රන්ජන්ට ජනාධිපති සමාව ලබා දෙනවානම් හොඳයි – අමාත්‍ය මහින්ද අමරවීර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් නම් එය ඉතා හොඳ දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

එම අදහස සිය පුද්ගලික අදහස බව පැවසූ අමාත්‍යවරයා, රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන්වත් කට පරිස්සම් කර ගත යුතු යැයි ද සඳහන් කර සිටියා.

රන්ජන් රාමනායක හිරගතව සිටින්නේ සාපරාධී ක්‍රියාවන් නිසා නොව කට පාලනය කර නොගත් නිසා බව කී ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීම හොඳ දෙයක් නොවන බව ද කියා සිටියා.

හිටපු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව දැන් හොඳටම දඩුවම් විඳ ඇති බවට පැවසූ අමාත්‍යවරයා, රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට රජයට උදව් කළ මෙන්ම නොකළ කලාකරුවන් රැසක් එක්ව සිටීම හොඳ දෙයක් බව ද ප්‍රකාශ කර සිටියා.

පරිසර අමාත්‍යාංශයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.