NEWS

රන්ජන්ට නිදහස දෙන්න තරම් සාධාරණ හේතුවක් මේ දක්වා ඉදිරිපත්වී නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂය පසුගියදා ඉල්ලීමක් කර තිබු අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා සාධාරණ හේතුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර රන්ජන් රාමනායකට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

හදිසියේ ඇතිවූ ආබාධ තත්වයක් සඳහා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව පැවසූ හෙතෙම මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියේ.