NEWS

සැරටම වැදුණු අකුණු ගැන අනාවරණයක්

2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අකුණු සර වැදීම් එක්කෝටි හතළිස්හතර ලක්ෂයක් (14,462,297ක්) වාර්තා වී ඇති බව ශ්‍රී ලංකාවේ අකුණු හඳුනා ගැනීමේ ජාලයක් වන අර්ත් නෙට්වර්ක් (Earth Network) ආයතනය අනාවරණය කරයි.

2020 දකුණු ආසියානු අකුණු සර වාර්තාව (2020 South Asia wghtning Report) පෙරේදා (26 වැනිදා) නිකුත් කරමින් අර්ත් නෙට්වර්ක් ආයතනය මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් ආවරණය වන ආකාරයට සිදුකර ඇති සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස නිකුත් කර ඇති අකුණු එක්කෝටි 44 ලක්ෂයෙන් පන්ලක්ෂ හත්තෑදෙදහස් හත්සිය විසිනවයක් (572,729) භයානක සේ සැළකෙන අතර වළාකුළුවල සිට ඍජුවම පොළොවට සම්බන්ධ වූ අකුණු ලෙස සැළකේ. එහි ප්‍රතිශතය 4%කි. එසේම 2020 වරේදී ශ්‍රී ලංකාවේ වැඩිම අකුණු සර සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඌව, උතුරුමැද, නැඟෙනහිර, සබරගමුව හා වයඹ යන පළාත්වලිනි.

මෙම වාර්තාවට අනුව 2020 වසරේදී ඉන්දියාවට අකුණු සර තුන්කෝටි අනූපන්ලක්ෂ හතළිස් නවදහස් හාරසිය හතළිස් හතරක් (39,549,444)ක් වැදී ඇති අතර බංග්ලාදේශයෙන් වාර්තාවන අකුණු සංඛ්‍යාව තිස්ලක්ෂ දාහතර දහස් එකසිය පහළොවකි.
(3,014,115) සමකයට ආසන්න රටක් වන බැවින් ශ්‍රී ලංකාවේ තාපය හා වාතයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක පවතින බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි අකුණු සර සංඛ්‍යාවක් අත්විඳීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවනු ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.