NEWS

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍රයෙන් ඉහළ යනවා – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රෝහල්වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කැපී පෙනෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

මෙය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීමෙන් පසුව ඇතිවුණු තත්වයක් විය හැකි යැයි පැවසූ ජයසුමන මහතා මෙය වඩාත් අවධානය යොමු කළ යුතු තත්වයක් බවද ප්‍රකාශ කළේ.

වෙනදා රෝගීන් 100 දෙනෙකුගෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් පස් දෙනෙකු හමුවූයේ නම් දැන් එවැනි තත්වයේ රෝගීන් දස දෙනෙකුට වැඩි ප්‍රමාණයක් හමුවන බවද මහාචාර්ය ජයසුමන පැවසුවේ.

මේ අතර රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇති බවත් මේ මස අවසන් වීමට පෙර වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කරන බවත් හෙතෙම සඳහන් කළේ.

ජනතාව මරණයෙන් බේරා ගැනීම එන්නත්කරණයේ ප්‍රධාන බලාපොරොත්තුව බවයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.