NEWS

ගොලුවූ අනියම් පෙමට ජිවිතයෙන් වන්දි ගෙවූ තරුණයා

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප‍්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත් තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප‍්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ හේරත් නමැති අයෙකි.

මෙයට මාස කිහිපයකට පෙර ඉහත ආයතනයේ සේවයට පැමිණ තිබියදී මෙම පෙම්වතිය සමග පේ‍්‍රම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය විදේශගතවී තිබෙන අතර ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය ඊට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මියගිය අය බලවත් සිත්තැව්ලට පත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහරගම පොලිසිය කියයි.

මියගිය අය රැුකියාවට පහසුවනු පිණිස ගොඩිගමුව ප‍්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටියදී එම නිවස තුළදී මෙසේ ගෙල වැලලාගෙන ඇතැයි පවසන පොලිසිය මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනකාන්ත මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නවරත්න මහතා වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.