NEWSSPORTS

මයිකල් ජොන්සන්, සුගත් තිලකරත්නට බැනලා තිබුණා : වැඩිම ඔලිම්පික් තරග ගණනක් ආවරණය කළ මාධ්‍යවේදියෙකුගේ අපුරු කතා

ඔලිම්පික් තතු විත්ති ඔබ බොහොම සැහැල්ලුවෙන් සිට නරඹනවා විය හැක. පුවත්පත් ඔස්සේ කියවනවා විය හැක. නමුත් ඒ වාර්තාව ඔබ හමුවට ගෙන ඒම වෙනුවෙන් ඒ පසුපස සිටින මාධ්‍යවේදියා විිසින් කරනු ලබනු කැපකිරීම, විඳින වෙහෙසේ තරම ඔබ නොදනී. එසේම එම වාර්තාකරණයේදී මාධ්‍යවේදියකු විසින් උපයාගන්නා අත්දැකීම් සම්භාරයද සුළුපටු නැත. එය ඔලිම්පික් උළෙලක තරග ප්‍රතිඵල වාර්තාවකින් ඔබ්බට යන්නකි. නමුත් ඔබට කියවන්නට නොලැබෙන්නකි. එහෙත් එය කියවන්නට ලැබේ නම් ඔලිම්පික් පදක්කමකට එහා ගිය අපූර්වත්වයකි. මේ අපූර්වත්වය ඔබට ගෙනහැරපානු පිණිස අප හමුවූයේ අසෝක ගුණතිලකයන්වය. හෙතෙම මෙරට ක්‍රීඩා මාධ්‍යකරණය නව මානයකට රැගෙන ගිය චරිතයකි. ක්‍රීඩා මාධ්‍යකරණයේ මුද්‍රාවකි. වේද ග්‍රන්ථයකි. තක්සලාවකි. එකක්, දෙකක් නොව ඔලිම්පික් උළෙල හයකට සහභාගී වී වාර්තාකරණය කිරීමේ මෙරට අන් කිසිදු මාධ්‍යවේදියකුට නොලැබුණු භාග්‍යයක් විඳගත්තෙකි. විටෙක අභියෝගාත්මක වූත්, විටෙක ආශ්වාදනීය වූත්, විටක මරණීය අවදානමක් රැඳුණාවූ ඒ ඔලිම්පික් වාර්තාකරණය ගැන අසෝක ගුණතිලකයන් හා ‘සති අග අරුණ’ අතර පිළිසඳරයි මේ.

ඔලිම්පික් වාර්තාකරණය සම්බන්ධයෙන් තියෙන ඉතිහාසය හා එයින් උගත් දේ ගැන සැකෙවින් කිව්වොත්?

1988 ‍සෝල්, 1992 බාසිලෝනා, 1996 ඇට්ලන්ටා, 2000 සිඩ්නි, 2008 බෙයිජිං සහ 2012 ලන්ඩන් විදිහට දැන් ඔලිම්පික් තරගාවලි 6ක් වාර්තා කළානේ. ඉතින් ඒ හැමදෙයකින්ම අලුත් දෙයක් ඉගෙන ගත්තා.

ඔලිම්පික් උළෙල 6ක්. ලංකාවෙන් වැඩිම ඔලිම්පික් උළෙල සංඛ්‍යාවක් වාර්තා කිරීමේ වාර්තාව ඔබ සතුයි?

මම හිතන්නේ වැඩිම ඔලිම්පික් උළෙල සංඛ්‍යාවක් වාර්තා කරලා තියෙන්නේ මම විය යුතුයි.

ඒ අතරින් දැකපු සාර්ථකම ඔලිම්පික් සංවිධානය පැවතියේ කොහෙද?

1988 පැවැති සෝල් ඔලිම්පික් තරගාවලිය. ඒක හුඟාක් දුරට අපිට සම්බන්ධයි. ආසියාවට සම්බන්ධයි. ඔවුන් හුඟක් දේවල් අලුතින් හඳුන්වා දී තිබුණා. ඔය දැන් ඔලිම්පික්වල හැමදාම එකම ජාතියේ කොඩි සියයක් විතර අරන් යන්නේ, ඒක පටන් ගත්තේ සෝල් ඔලිම්පික්ස් වලින්. ඒ හැර ඔවුන්ගේ සංවිධානය සියයට සියයක් සාර්ථකයි. ඊට පසුව පැවැති ඔලිම්පික් සංවිධායකයන් ඔවුන්ව කොපි කරලා ඊළඟ ඔලිම්පික්ස්වල ටික ටික වෙනස්කම් කරා. සිඩ්නි ඔලිම්පික්ස්වල මහා පරිමාණයෙන් ඉලෙක්ට්‍රොනික් අංශය යොදාගෙන වෙනස්කම් හඳුන්වා දුන්නා.

අද කාලේ වාර්තාකරණයට ගියොත් ලැප්ටොප් තියෙනවා, අන්තර්ජාල පහසුකම් තියෙනවා. බොත්තමක් ඔබලා තොරතුරු සපයගන්න පුළුවන්. නමුත් ඒ කාලේ එහෙම නෑ. ඒ තාක්ෂණික අභියෝගය කොහොමද දැනුණේ?

අනිවාර්යයෙන්ම පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඔලිම්පික්වලට යන්නේ ලබන මාසේනම් ඊට මාස දෙකකට කලින් මම සූදානම් වුණා. ඒ කියන්නේ මාස 3ක පෙර සූදානමක්. හැම දෙයක්ම අධ්‍යයනය කළා. ලංකාවේ කට්ටිය සහභාගි වන තරග ගැන වෙනම අධ්‍යයනයක් කළා.

එතකොට විශේෂත්වය වන්නේ මේකයි. අපේ ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අන්තර්ජාලයේ ලොකු දේවල් නැහැ. ඔවුන්ගේ තියෙන්නේ නමයි ඉසව්වයි විතරයි. ඔක්කොම තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන. නමුත් අපේ ප්‍රමුඛ වගකීම වෙන්නේ උළෙලේ අපේ නියෝජනය ගැන ලියන එකනේ. එතකොට අපි අපේ කට්ටිය පිළිබඳව අධ්‍යයනයක් කරගෙන යන්න ඕනේ.

එවැනි තරගාවලිවලදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මූලික වටයෙන් හෝ දෙවැනි වටයෙන් බොහෝ දුරට ඉවතට විසි වෙනවා. ඒකනේ ඇත්ත කතාව. දහස් ගාණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඉතාම පොඩි නිමිත්තක්නේ අපේ අය වෙනුවෙන් හම්බෙන්නේ. ඒ නිමිත්ත යොදාගෙන තරග ක්‍රියාත්මක වන හැම දවසකම ලංකාවට ප්‍රවෘත්තියක් එවනවා කියන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි?

ලංකාවෙන් නියෝජනය වෙන්නේ අතළොස්සක් නිසා ඒ සෑම කෙනෙක් ගැනම අධ්‍යයනය කිරීම පහසුයි. සෝල් ඔලිම්පික්ස් උළෙලට ගියේ 6 දෙනයි. ඔය හයදෙනා ගැන ඕනේ තරම් ලියන්න මාස දෙකකට, තුනකට කලින් ඉඳන් ඕනෑ තරම් දෙවල් හොයාගෙන ලෑස්තිවෙන්න පුළුවන්. නමුත් ගිහිල්ලා ඉවරවෙලා රේස් එක පැරදුණාම ඒ සියලු දේ ලියන්න බැහැ. දිනුවනම් තමයි මේ ඔක්කොම ඕනේ වෙන්නේ. ඒ අනුව තමයි 2000 ඔලිම්පික්ස් උළෙලේදී සුසන්තිකා ගැන බඩ පිරෙන්න ලිව්වේ.

අපේ කෙනෙක් පළවෙනි වටයෙන්ම ඉවත් වුණාට පස්සේ, ලෝකයේ තව ඊට වැඩිය ප්‍රබල ඔලිම්පික් ප්‍රවෘත්ති තියෙද්දි අපේ රටට අදාළ පුවත පිරිමහා ගැනීම තමයි අභියෝගය?

හරියට හරි. මම උදාහරණයක් කියන්නම්. අපේ කෙනෙක් ගිහිල්ලා මීටර් 100 දුවලා අයින් වුණාට. ඒ මීටර් 100 ඉසව්ව ගැන වෙන අතුරු කතාවන් ඕනෑ තරම් තියෙනවා. එතැන් පටන් යැපෙන්න වෙන්නේ ඒ පුවත්වලින්. මම කතාවක් කියන්නම් උසේන් බෝල්ට් ගැන. එදා උසේන් බෝල්ට් දිනද්දි හැම පත්තරයකම ඔහු ගැන ලියැවුණා.එතැනත් අතුරු කතාවක් තිබුණා. මට එතැනදි මුණගැහුණා ජැමෙයිකාවේ මාධ්‍යවේදියෙක්. ලංකාවත් එක්ක හරි යාළුයි. මොකද ක්‍රිකට් නිසා. මම ඇහුවා මොකක්ද බෝල්ට්ගේ රහස කියලා. එයා එවලෙ මට බලන්න එයාගෙ ලියැවිල්ලක් දුන්නා. ඒකේ සම්පූර්ණයෙන්ම තිබුණේ බෝල්ට්ගේ පුහුණුකරු එයාට කන්න දුන්නේ අල කියලා. ඒක තමයි එදා මට අහුවුණු අතුරු කතාව.

ඒ වගේ තව එකක්, 88 සෝල් ඔලිම්පික් උළෙලේ බෙන් ජොන්සන් තහනම් උත්තේජක අරන් අහු වුණා. ඉතින් දැන් හැන්දෑවේ රේස් එක ඉවරවෙලා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා ආන්දෝලනාත්මක කතා ගිහින් දවස ඉවරවෙලා පහුවෙනිදා උදේ කෑම කනකොට ටීවී එකේ ගියා බෙන් ජොන්සන් රටින් පිටමං කරනවා කියලා. මිනිහව ගෙදර යවනවා කීවහම, කෑම කකා හිටිය මාධ්‍යයේ අය කෑම එතැනම තියලා, අවන්හලේ පුටු පෙරළාගෙන හැඳි ගෑරුප්පු විසිකරගෙන හැමෝම දිව්වා තමන්ගෙ වැඩකරන තැන්වලට. තම තමන්ගේ රටවලට ඒ පුවත වාර්තා කරන්න. එතකොට මම කළේ මොකක්ද, මම ඒ අවන්හලේ ජවනිකාව ලිව්වා. ඒක වෙනමම කථාවක් වුණා.

සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් ගෙනෙද්දිත් ඔබ එතැන. එදා මොකද වුණේ?

සුසන්තිකා දිනුවට පස්සේ සම්මුඛ සාකච්ඡා ගන්නවා දිගට හරහට. එතකොට මම පැත්තකට වෙලා හිටියා. සිඩ්නිවලට ගිය අපේ මාධ්‍යවේදීන් 16 දෙනෙක් විතර අහන දෙවල් වලට සුසන්තිකා උත්තර දෙනවානේ. සුසන්තිකා පැත්තකට වෙලා ඉන්නකොට මම ළඟට කිට්ටු කරලා කිව්වා ‘නංගී කාටවත් නොකියපු දෙයක් කියපන්’ කියලා. එතකොට සුසන්තිකා කිව්වා ‘මොන පිස්සුද අයියා මේ වෙලාවේ එහෙම දේවල් තියෙනවාද’ කියලා, මම කිව්වා එහෙම නෙමෙයි නොකියපු දේවල් ඇතිනේ කිව්වාම. එහෙනම් රෙකෝඩ් කරගන්න කියලා ඇය කිව්වා ‘ඔන්න මගේ දස්කම් පෙන්නුවා අනේ මට දැන් උදව් කරන්න’ කියලා කිව්වා. ඒක තමයි එදා මගේ කතාවේ ශිර්ෂ පාඨය වුණේ.

ඔය ගිය ඔලිම්පික් හයේම අපේ ක්‍රීඩකයන් අතරින් සුවිශේෂීම මතකය තියෙන්නේ සුසන්තිකා සම්බන්ධ කාරණාවද?

ඒකට අමතරව මේ තවත් එකක්. සුගත් තිලකරත්න ඇට්ලන්ටාවලදී ලෝක ශූර මයිකල් ජොන්සන් පරද්දපු එක. මූලික වටයේ පස්වැනි තරගයේදී සුගත් දිව්වා තත්ත්පර 45.79කින්. දෙවැනි වටයේදී සුගත්ගේ තරග නිමි කාලය 45.78ක් ලෙස දැක්වුණා. තරගයෙන් පස්සේ සුගත් මයිකල් ජොන්සන් එක්ක ෆොටෝ එකක් ගමුද අහල තිබුණා. ඒ වෙලාවේ මයිකල් ජොන්සන් තිබුණු තරහටත් එක්ක සුගත්ට කුණුහරුපෙන් බැනලා තිබුණා.

තරගයෙන් පස්සේ හැමෝම සම්මුඛ සාකච්ඡා අරගෙන සුගත් හුස්මක් එහෙම ගත්තාට පස්සේ මම කතා කළා. ඊට පස්සේ සුගත් කිව්වා අයියා අරූ මට කුණුහරුපෙන් බැන්නනේ කියලා. එදා මම ‘වවන් කාපු’ කතාව වුණේ ඒක.

ඔලිම්පික් ගිය අපේ ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔබට ඇති මතක….

කේ. ඒ. කරුණාරත්න දකුණු ආසියාවේ හොඳම දිගුදුර ධාවකයා වෙමින් මැරතන් එකයි, මීටර් 10,000යි 5000යි සේරම දිනපු කාලයක් තිබුණා. 1992 බාසිලෝනා ඔලිම්පික් තියෙන කාලය වන විට දක්ෂතාවල උපරිමයේ හිටියේ. ඒ කාලේ එයාට ලෝකේ වටේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් තෑගි පිට තෑගි ලැබුණා.

ඒ අතරේ කරුණාරත්නට ජපානයෙන් තෑග්ගක් විදිහට දුවන්න ගන්න සපත්තු දෙකක් ලැබුණා. ඔලිම්පික් මැරතන් එකට කලින් එහෙදි කරූව මට හම්බුණාම එයා මට ඒ සපත්තු දෙක පෙන්නුවා. මම කිව්වා අලුත් සපත්තු දාලා දුවන්නේ නැතිව පරණ පුරුදු සපත්තු දෙකම දාලා දුවන්න කියලා. එතකොට කරු කිව්වා, නෑ අයියා මේක දාලා දුවන්න ඕනේ බලන්නකො මේකේ ලස්සන කියලා. ඒ මැරතන් එක දුවපු එකසිය ගාණකින් 87 දෙනෙක් තරගය අවසන් කළා. මෙයා 71 වැනියා. පරණ සපත්තු දෙක දාලා දිව්වානම් ඔහුගේ තරග නිමි කාලය අනුව අනිවාර්යයෙන් පළවෙනි 20ට විතර එන්න තිබුණා. සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රීඩකයෙක් අලුතින් සපත්තු හම්බුණා කියලා ඒක දාලා දුවන්නේ නැහැ. තමන්ගෙ කකුල් දෙකට හුරු විශ්වාස සපත්තු දෙක දාලානේ දුවන්නේ. ඒත් කරුණාරත්න ජපානෙන් එව්වා කියලා අලුත් සපත්තු දෙක දාගෙන දුවලා කකුල් කපාගෙන කොර ගගහා අපි ළඟට ආවා.

අපි දැන් වාර්තාකරණය කියන්නේ දකින ප්‍රතිඵලයක් වාර්තා කරන එකනේ. ඔබ කිව්වා වගේ තිරය පිටුපස කතා මැවෙනවානේ. මේවට ඔත්තු ගන්න පුළුවන් කාගෙන්ද?

ඒකෙ සූත්තරේ මේකයි. පිටරටවල ඉන්න මාධ්‍යවේදියෝ ඉන්නවානේ. ඔවුන් එක්ක සෙට් වෙන්න ඕනේ. කනබොන තැන්වලදි. හවසට මධුවිතක් ගන්න තැනදි.

දැන් අපි උදේට කෑම එකක් ගත්තාම අපි දන්න හඳුනන අපේ ලංකා‍වේ කෙනෙක් ළඟින්නේ වාඩිවෙන්නේ. මම බොහෝ දුරට කරන්නේ පිටරටවල මාධ්‍යවේදියො ළඟින් වාඩිවෙන එක. එහෙම ඉඳගෙන කතා කරනවා. ඔවුන් එක්ක කතා කරාම අහන්නෙම අපේ ක්‍රිකට් ගැන. ඔය අතරතුර ඔවුන් කියනවා අපේ මෙන්න මෙහෙම එකෙක් ඉන්නවා. කියලා කතන්දර කියනවා. ඒ විදිහට තමයි උසේන් බෝල්ට්ගේ කතාව ලැබුණේ. ඒ මාධ්‍යවේදියෝ කියන්නෙ සාමාන්‍ය අය නෙමෙයි. මට බෝල්ට්ගෙ කතාව කියපු සිල්වෙස්ටර් කියන මාධ්‍යවේදියට පුද්ගලික හෙලිකොප්ටරයකුත් තියෙනවා.

ඔය ඔලිම්පික් වාර්තාකරණයේදි ලොතරැයි ඇදුණු අවස්ථා එහෙම නැතිද?

88දී එක සිද්ධියක් වුණා. ඒක දවසක් මම පත්තරයට වාර්තාව එවලා මාධ්‍ය කුටියට වෙලා මහන්සියට පොඩි නින්දක් දාගෙන ඉන්නකොට ටයිකෝට් ඇඳගත්තු කෙනෙක් ඇවිත් පිටට තට්ටු කළා. මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. මම කිව්වා කොපිය ඇරලා ටිකක් ඉන්නවා කියලා. මම ඇහුවා ඔයා කවුද කියලා. ඔහු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සඟරාවේ ප්‍රධාන කර්තෘ ඉතියෝපියානු ජාතික සෙෆ්රු කිදානේ. ඔහු මගෙන් ඇහුවා ජොබ් එකක් දෙන්නම්, පඩියකුත් ගෙවන්නම්. කරන්න පුළුවන්ද කියලා. මම ඇහුවා මොකක්ද කියලා. තායිලන්තයේ ඔලිම්පික් කමිටු සභාපතිගේ සම්මුඛ සාකච්ඡාවක් ගන්න පුළුවන්ද කිව්වා. මම කිව්වා මම මගේ මව් භාෂාවෙන් ලියන්නේ. ඉංග්‍රීසියෙන් ලියන කෙනෙක් නෙමෙයි කියලා. මිනිහා එතකොට කිව්වා දන්න ඉංග්‍රීසියෙන් ලියන්න මම ඒක කරගන්නම් කියලා. එවලෙම තායිලන්ත ඔලිම්පික් සභාපතිට කතා කරලා පැයක් ඇතුළත වෙලාවක් අරන් දුන්නා. ඒ වැඩේ ඉවර වුණ ගමන්ම සෙෆ්රු මට කිව්වා හෙට උදේට සාකච්ඡාව ලියලා භාරදෙන්න කියලා. එතකොට වෙලාව රෑ 11ට විතර ඇති. කොහොම හරි මම අතින්ම කොළ 10ක් විතර ලියලා කියපු වෙලාවටම දුන්නා. ඒ වෙලාවෙම ඔහු සාක්කුවෙන් පර්ස් එක අරන් ඩොලර් 200ක් දුන්නා. ඒ වගේ චාන්ස් තියෙනවා.

ඊට පස්සේ බාසිලෝනා ඔලිම්පික් යනකොට ලංකාවේ මාධ්‍යවේදීන් මෙච්චරයි යවන්නේ ඒ නිසා ඔයාට අවස්ථාව දෙන්න බැහැ කිව්වා. එහෙම මාෆියාවන් ජාතික ඔලිම්පික් කමිටුවේ තිබෙනවා. ඒ වෙලාවේ මම සෙෆ්රූට ගැහුවා ෆැක්ස් එකක්. එතකොට අනිත් පැත්තට සෙෆ්රූ මට පෝරම වගයක් එවලා තිබුණා ඒවා පුරෝලා එයාට එවන්න කියලා. අවුරුදු හතරකටත් පස්සේ එයාට මතකය තිබුණා. එයයි මට බාසිලෝනා යන්න අවස්ථාව හදලා දුන්නේ.

ඒ ඔලිම්පික්වලින් දිනාගත් අවශේෂ දේවල් නේ. ඔබේ ඔලිම්පික් වාර්තාකරණයේ අමිහිරිම අත්දැකීම?

එය නම් ලොමු දැහැගැන්වෙන්නක්. 1996 ඇට්ලන්ටා ඔලිම්පික්වලට අපි ගිහින් ඉන්න අතරේ මමත් සහෝදර මාධ්‍යවේදී සරත් ප්‍රේමතිලකත් එහි ඔලිම්පික් උද්‍යානයට ගිහින් එහි මඳ වෙලාවක් රැඳී සිට ආපසු ආවා. අපි ඇවිත් විනාඩි 5ක් ගියේ නැහැ, එතැන බෝම්බයක් පිපිරුණා. ඒ බෝම්බයෙන් එක් මාධ්‍යවේදියෙක් මැරුණා. තව සියයකට වැඩිය තුවාල වුණා. අපි තව විනාඩි 5ක් එතැන හිටියා නම් අද ඔබට මෙවැනි පිළිසඳරකට අවස්ථාව නොයෙදෙන්නත් තිබුණා.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන විදිහ හැසිරෙන විදිහ දකිනවානේ. මේ අයත් එක්ක බලනකොට අපිට ඔලිම්පික් පදක්කමක් කියන්නේ අහම්බයක් වගේ දෙයක්. ඔලිම්පික් පදක්කමකට යනවානම් ඇත්තටම අපි මොකක්ද කරන්න ඕනෑ ඔබේ අත්දැකීම් එක්ක?

ඉදිරි අනාගතයේදී ලංකාවට ආයේ ඔලිම්පික් පදක්කමක් දිනන එක සිහිනයක් පමණයි. මේ සැරේ 9 දෙනෙක් යනවානේ. එයින් තුන්දෙනයිනේ පරිසාධන මට්ටම ඉක්මවලා යන්නේ. අනිත් කට්ටිය ඔක්කෝම තරගවලට යන්නේ ආරාධිතයෝ විදිහට. දැන් බලන්න යුපුන් ඇවිල්ලා මීටර් 100 ඉසව්වේ 51 වැනියා. ටෝකියෝ ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම්වල 45 වැනියා. තුරඟ තරගයට ඉදිරිපත්වන මැටිල්ඩා ලෝකේ 304 වැනියා. මිල්කා ගෙහානි ලෝකේ ශ්‍රේණියේ සඳහනක්වත් නැහැ. සහභාගීත්වය සහ ජයග්‍රහණය කියන්නේ දෙකක්.

ලෝකෙ අනිත් රටවල් මේ ඔලිම්පික් ඉවර වුණාම ඊළඟ ඔලිම්පික් ඉලක්ක කරගෙන එතැන ඉඳන්ම පුහුණුව පටන් ගන්නවා. දැන් මේ අපේ නව දෙනා ආවාම ඊළඟ ඔලිම්පික්ස් වෙනකම් තියා ගන්නවාද? නැහැනේ. අපේ හැම ක්‍රීඩාවක්ම එහෙමනේ. ජාත්‍යන්තර තරගයක ගිහින් ආවාට පස්සේ ඔවුන් ගෙදර යනවා. තියා ගන්නේ නැහැනේ. ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. අපේ ළමයින්ට අන්තිම මොහොත වෙනකම් විශ්වාසයක් නැහැනේ ඔලිම්පික් යනවා කියලා. දැන් අපේ රටේ ජනගහනය අනුව තුන්දෙනයිනේ සුදුසුකම් ලබා තියෙන්නේ. මුලින්ම අපේ රටේ පුහුණුකරුවන්ට දෙන්න ඕනේ ඔලිම්පික් පුහුණුවක්. ඔය බහුතරය අන්තර්ජාලය මගින් මොනව හරි ඉගෙනගෙනයි ළමයින්ට උපදෙස් දෙන්නේ. මේ මෑතකදී පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආපු පුහුණුකරුවෙක් ඉන්නවා නම් කියන්න. ඉස්සරනම් අඩුම ගානේ ඉන්දියාවේ පට්යාලාවලටවත් යැව්වා. දැන් පුහුණුකරු වෙනුවට කෙළින්ම යවන්නේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව. ඔවුන් ගියා දිව්වා, පැන්නා නැවත ආවා ගෙදර ගියා ඒක ඉවරයි. ඒ වෙනුවට පුහුණුකරුවෙක් යැව්වොත් ඔහු නැවත ඇවිල්ලා ළමයින්ට උගන්වනවානේ.

සාමාන්‍යයෙන් පාඨකයෙක් වුණාම උදේට පත්තරයක් අරගෙන කකුලක් උඩ කකුලක් දාගෙන ඔලිම්පික් කියවනවා. නමුත් මුද්‍රිත මාධ්‍යවේදියෙක් විදිහට ඔය වාර්තාකරණයට ගියාම විඳින දුක කොයි වගේද?

රට රටවල් අතර වෙලාවේ වෙනසක් තියෙනවානේ. එතකොට අපි වාර්තාකරණයකට පිට රට ගියහම ලං‍කාවේ අය නිදියන වෙලාවට අපි කනවා. අපි කන වෙලාවට ඒඅය නිදියනවා. ඒ නිසා මෙවැනි තරගාවලියකට ගියාම කන්න බොන්න කිසිම දවසක කිසිම වෙලාවක් නැහැ. ජපානයේ උදේ 8.00ට උදේ ආහාරය දෙනවානම් එකේ ලංකාවේ වෙලාව පාන්දර 4.00යිනේ. එතකොට කන්න බොන්න කිසි වෙලාවක් නැහැ. සියයට 90ක්ම කන්න බොන්න වෙන්නේ යන එන බස් එකේ.

ඊට පස්සේ ලංකාවේ පත්තරයට වාර්තාවක් ගන්න අවසන් වෙලාවක් තියෙනවානේ. ඒ වෙලාවට කලින් වාර්තාව එවන්න, ඒකට පුදුම දුකක් විඳින්න ඕනේ. මේ වගේ දුරකථන පහසුකම් තිබුණු කාලයක් නෙමෙයිනේ. ඒ විදිහට වාර්තාකරණය කියන්නේ තරු පෙනෙන දෙයක් මිසක් සුරංගනා ලෝකයක් නෙමෙයි. පුදුම දුකක්. නමුත් ඒ දුක විඳගෙන ලංකාවට වාර්තාව යැව්වාට පස්සේ පුදුම සන්තෝෂයක් තියෙනවා. කාලයත් එක්ක පස්සේ පස්සේ ඉන්ටර්නෙට් එකෙන් අපිට අපේ පත්තර පිටු බලන්න පුළුවන් වුණානේ. එතකොට හො‍ෙර න් බලනවා අපේ අනිත් මාධ්‍යවේදීන් ලියලා තියෙන්නේ මොනවාද කියලා. මම ලියපුවා ඔවුන් ලියලා නැහැ කියලා දැනගත්තාම එතකොට පුදුම සතුටක් දැනෙනවා.

ඔබ වාර්තාකරණයට පමණක් සීමා වුණු කෙනෙක් නෙමෙයි. ඔලිම්පික් ද ඇතුළුව ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩනගපු කෙනෙක්. ඒ ගැන මොකක්ද හැඟෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කියනවානේ ක්‍රීඩා සාහිත්‍යයක් නැහැ කියලා. ‘ඇතැන්ස් සිට රියෝ දක්වා’ කියන පොත මම ලියලා මුද්‍රණය වෙනුවෙන් දායකත්වයක් ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයට යැව්වහම, මට පිළිතුරු ලිපියක් ලැබුණා ක්‍රීඩා අමාත්‍යාංශයේ සල්ලි නැහැ කියලා. ඊට පස්සේ තව උත්සහයක් ගන්න ඕනේ කියලා, ක්‍රීඩා සාහිත්‍යය සම්බන්ධයෙන් සම්මානයක් ගන්න වෙලාවක ඇමැතිගෙ අතටම දුන්නා ලිපියක්. මේ වනතුරු උත්තරයක්වත් නැහැ. එහෙම රටක ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩනගන්න බැහැ. මම ආයේ ඒ ගැන ලියන්න බලාපොරොත්තුවකුත් නැහැ.

(උපුටා ගැනීම : අරුණ පුවත්පත)