NEWS

චාල්ස්ගේ මඟුලට ලන්ඩන් ගෙන ගිය ලෝකයේ මිල කළ නොහැකි මැණික් ගල් 03 කතාව

කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බහින පුවතක් පැතිර ගියේ ඉකුත් දහ නව වැනිදාය.

අන්තිමේදී රටම කතා කරන්න ගත්තේ ගිලාබහින ගොඩනැගිල්ල ගැන නොවේ. ඒ පුවත යට ගියේය. මැණික් ගල් තුනක් උඩට ආවේය. මේ මැණික් ගල් තුන හැඳින්වෙන්නේ මිල කළ නොහැකි මහානර්ග වස්තුවක් ලෙසය. එවැනි වස්තුවක් මේ ගොඩනැගිල්ලේ ඇති බව කවුරුවත් දැනගෙන සිටියේ නැත. එය කොල්ලුපිටියේ සිට කොටුවේ ලංකා බැංකු මූලස්ථානයේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගියේ ජනපතිට දෙන ආරක්ෂාවට සමාන සන්නද්ධ විශේෂ ආරක්ෂාවක් දෙමිනි.

මේ මැණික් ගල් තුන ලංකා පොළොවේ තිබී උඩට ආවේ නම් අදක ඊයේක නොවේය. ඒ 1970 ගණන්වලය. ඒ කාලේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා එකක් තිබුණේ නැත. ඒ කාලේ තිබුණේ රාජ්‍ය මැණික් සංස්ථාවයි.

1971 එවක මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටී එන්.එම්. පෙරේරාගේ පුරෝගාමීත්වයෙන් රාජ්‍ය මැණික් සංස්ථාව ආරම්භ වුණු කාලයේම කරුණාපාල වල්පිටගම එහි තක්සේරු නිලධාරීයෙක් වශයෙන් සේවයට බැඳුණේය. කරුණාපාල මහත්තයාට මේ මැණික් ගල් තුනේ වග විස්තරය තම දරුවෙක් වාගේ මතකය.

ඒවාගෙන් එකක් ‘ලංකාවේ තරුව’ නමින් විරුදාවලිය ලැබූ බර කැරට් 392.88ක, නිල් ආරු නූල මැණිකක්ය. මැණික් භාෂාවෙන් එය හැඳින්වෙන්නේ බ්ලූ ස්ටාර් සෆයාර් කියාය. දැනට ලෝකයෙන් වාර්තා වූ නිල් ආරු නූල් මැණික් අතරින් දෙවනියට විශාල මේ මැණිකය. පළමුවෙන් තැනට ඉන්නා මැණික ඇමරිකාවේ ස්නොසියම් කෞතුකාගාරයේ තිබෙන්නේය.

කණක වෛරොඩියේ බර කැරට් 103.05කි. අනෙක් මැණික පසිංගල් වර්ගයේ බර කැරට් 30.75ක එකක්ය. නිල් අරු නූල මැණික් සංස්ථාවට හම්බෙන්නේ 1973 වාගේ කාලේය. ඒ ඇළහැර හත්තොට අමුණ පැත්තේ පතලකින්ය.

1973 කියන්නේ මැණික් සංස්ථාව ආරම්භ කරපු මුල් කාලයේය. රාජ්‍ය මැණික් සංස්ථාව පෞද්ගලික වෙළෙන්දන් සමග කරට කර සිටිමින් මැණික් මිලදී ගත්තේය. හත්තොට අමුණෙන් හමුවූ නිල් ආරු නූල මැණික එවකට පැවති මිල ගණන් අනුව රුපියල් ලක්ෂ පහළොවකට මිල නියම කළේය.

විකුණුම්කරුවන් ඒ මිලට එකඟ වූ බැවින් එදා ඒ නිල් ආරු නූල රාජ්‍ය මැණික් සංස්ථාව මිලට ගත්තේය. මේ කාලය හරියටම මැණික් සංස්ථාව ආරම්භ කළ මුල් කාලය හන්දාම මැණික මිලට අරගත්තත් ඒක අගේට කප්පවා ගන්නට සමත් හපනෙක් මැණික් සංස්ථාවට සිටියේ නැතිය. සේරෝම වාගේ හිටියේ ආධුනික සේවකයෝය. මේ දුර්ලභ මැණික කැප්පවීමට හොඳම සුදුස්සා රත්නපුරේ බටුගෙදර ඉන්නා පළපුරුදු කැපුම්කරු සලමන් මිස වෙනකෙකු නම් නොවන බව තතු දන්නා අය කීවෝය.

ඒ දවස් මැණික් කපනවානං එතනට බටුගෙදර සලමන් නැතුව බැරි ගානය. මැණිකේ වටිනාකම උපරිමයටම බේරාගෙන හැඩයට නියමිත උස අරගෙන ඇද පළුඳු නැතුව නියමෙට කැපීමට සූරයා සලමන්ය.

ඒ හන්දා ආධුනික සේවකයෝ පළපුරුදු වෙනකං ටික කාලයකට සංස්ථාවේ මැණික් කැපීමට සලමන්ව ගෙන්නා ගත්තේය.

ඒ අනුව සලමන් අතින් නිල් ආරු නූල මැණික කැපුවේය. බිත්තරයක් දෙකට පළා ඒකේ එක බෑවක කහ මදේ පැත්ත බිමට තැබූවිට උඩට මතුවී පේන ආකාරයේ හැඩේකට සොලමන් මැණික කැපුවේය.

මැණිකක් කැපුවා කියන්නේ ආයේ කැපුවාමය. ඒකට ආයේ පැලැස්තර අලවනවා බොරුය. මැණික් ගැන කතා කරනකොට කැපුම්කරු ඉස්තරම්ම වන්නේ ඒ නිසාය. අදටත් ඔය දිලිසි දිලිසි ඉන්නේ එදා සලමන් කපාපු මැණිකය. නිල් ආරු නූල මැණික මුදුනේ රිදී පාට නූල් හයක් වාගේ පෙණුමක් තිබ්බේය. ටෝර්ච් එළිය ගහලා බලනකොට ඒ නූල් හය දිලිසෙනවා පුදුම ලස්සනක්ය.

දෙමළ භාෂාවෙන් ආරු කියන්නෙ හයටය. නූල් හයක් ඇති නිල් මැණික ‘නිල් ආරු නූල’ වූයේය. ‘නිල් ආරු නූල්’ ටික ඉර එළියට ඇල්ලුවම දිස්නේ හරි ලස්සනය.

ගල හරවන හරවන පැත්තට ඒ නූල් ඇදී ඇදී නළියන්නේය.

මේ ආරු නූලට තිබුණෙ නියමම සුපිරි කොලිටියේ වර්ණය බව, අන්තර්ජාතික මැණික් විශේෂඥයෙක් වන ආචාර්ය ගාමිණි සිල්වාට හොඳහැටි මතකය. මේ මැණිකට තිබුණේ නියමම Royal Blue නැතිනම් Vivid Blue කියා හැඳින්වෙන නිල් පැහැය බව ඔහු කීවේය.

1974 මොරවක් කෝරළයේ සිංහරාජ අඩවියේ පතලකින් හමුවුණු කණක වෛරොඩිය, එවක රුපියල් ලක්ෂ පහළවක මිලට සංස්ථාව මිලට ගත්තේය.

මේ කණක වෛරොඩියත් ලංකාවේ මැණික් පතල් කර්මාන්තයේ අද්විතීය සලකුණක්ය. කණක වෛරොඩිය කැපුවේත් බටුගෙදර සලමන්ය.

කණක වෛරොඩිය ‘පැණි’ පාටය. (Honey Brown) ගල මැද්දේ රිදී පාටින් හීන් නූලක් දිලිසෙන්නේය. වටිනාකම ඇත්තේ ඔය නූලේය. ගල මැද්දේ දුවන රිදී පාට හීන් නූලක් වාගේ මොස්රතයේ, නූල හීන් වෙන්ඩ වෙන්ඩ ගලේ අගය වැඩිය.

ඈතට බලනකොට මැණික පේනේනේ හරියට බළලෙකුගේ ඇහැක් වාගේ නිසා කණක වෛරොඩියට ඉංග්‍රීසි භාෂාවෙන් Cats Eye යනුවෙන් කියන්නේය.

මේ ගල මැද්දේ හීනියට දුවන නූලක මෝස්තරයට ටොර්ච් එළිය ගසා බලන කොට ඒක හරියට බළලා ඇහැ අරිනවා වහනවා වාගේ පෙනේ. මේවාගේ මිල, වටිනාකම ඉහළ යන්නේ ඒවායේ සුවිශේෂී කාරණා නිසාය. නිල් ආරු, කණක වෛරොඩිය කැපුම් කිරීමේදී මැණිකේ බිමට තියන පැත්ත පොලිෂ් කිරීමක් නැතිය.

මේ මැණික් ගල් දෙකේ තිබුණු සුවිශේෂී අලංකාරය හන්දාම මේවා රට රටවල මහා උත්සව මණ්ඩපවල තේජස පෙන්වන්නට නිතරම සැරසී සිටියේය.

එක වතාවක් එංගලන්තේ චාර්ල්ස් කුමාරයාගේ විවාහ මංගල්‍යය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ ප්‍රදර්ශනයට පෙනී ඉන්නටත් මේ මැණික් ගල් දෙක ඇරයුම් ලැබුවේය. විශාල ඇත්ත නාගයෙක් සමග අාකර්ෂණීය ලෙස ඒවා ප්‍රදර්ශනයට තැබුවෝය. මැණිකක් රකිනා නාරජකුගේ කතාව ඇත්තටම පෙන්වමිනි.

1981 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ, එළිසබෙත් රැජින ලංකාවට සැපත්වුණු වෙලාවේ එතුමිය වෙනුවෙන් මේ මැණික්වල විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්විය.

1976 අවුරුද්දේ නිල් ආරු නූලත්, කණක වෛරොඩියත් සමරු මුද්දර පවා නිකුත් වුණේය. ඒ විතරක් නෙවේය, මේවා බොහෝ අවස්ථාවක් ජපානයේ පැවැත්වුණු අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනවලටත් සහභාගි වූවේය.

එක වතාවක් ජපානයේ මැණික් ප්‍රදර්ශනය කරන වෙලේක, එක්තරා ආයතනයකින් පැමිණ මේ ගලක් ඔවුන්ට විකුණන ලෙස ඉල්ලුවේ, කැරට් එකට ඩොලර් විසිදාහක ඉල්ලුමකටය. දැනට ඔවුන්ගේ ආයතනය සතුව මැදිපෙරදිග රටකින් මිලදී ගත් කැරට් 65ක දියමන්තියක් තියෙන බවත්, ඊටත් වටිනා මේ මැණික් මිලදී ගෙන ඔවුන්ගේ සමාගමේ වත්කම ඉහළ තැනකට ගෙන ඒමට ඔවුන්ට අවශ්‍ය බව පවසා සිටියෝය.

මේ මැණික් ප්‍රදර්ශනයට රැගෙන ගිය කරුණාපාල වල්පිටගම මහත්තයා, ඒ ගමන්ම සංස්ථාවේ සභාපතිවරයාට ඇමතුමක් ගත්තේය.

‘‘සර්, මේ ලොකු කොම්පැණියකින් ලොකු ගාණකට මේ මැණික් ඉල්ලනවා’’ යැයි ඔහු එම නිල පණිවුඩය සභාපතිට කීවේය.

‘‘ඕක නැෂනල් වෙල්ත් එකක්, ඕක හොල්ලන් නෑ’ කියා එවෙලේ සභාපති උත්තර දුන්නේය.

රටකට අන්තර්ජාතික වටිනාකම් එකතු කරන අගයන් අතරේ, අදත් මේ මැණික් ගල් දෙක ඉහළින්ම වැජඹෙන්නේය. ඒ නිසා නාගයා මැණික රකින්නා සේ මේවායේ බලධාරීහු, නිලධාරීන් මේවා රැකීම එදා කළෝය. අදත් කළ යුත්තේය. මැණික් ගල් තුනේ තුන්වෙනි මැණික පසිංගල් වර්ගයේ එකක්ය. මොරවක කෝරළයේ සිංහරාජ අඩවියේ පතලකින්ම මේ ගලත් ගෙන ආවේ 1973 හෝ 1974 වාගේ කාලයකය.

හරියටම නිච්චි නැතත්, කුරුණාපාල වල්පිටගම මහත්තයාගේ මතකේ හැටියට මේ ගලත් සලමන් උන්නැහැ කපාපු මැණිකක්ය.

මැණික කැපුවේ පට්ටම් දාලාය. මැණික පට්ටම් දාලා කපනවා කියන්නේ මැණික් කැපීමේ විශේෂ නිපුණත්වයක්ය. ඒ කියන්නේ පිටතින් ඉර එළිය හෝ ටෝර්ච් එළියක් හෝ වෙනයම් ආලෝකයක් මැණික මතුපිටට වැටෙන කොට, ඒ ආලෝකය මැණික ඇතුළෙන් නැවත පිටතට පරාවර්තනය වෙන හැටියට විවිධ තලවලට කැපීමේ කලාවය. පසිංගලය කැපුවේ එහෙම පැතලි මතුපිට හිටින්ඩ පට්ටම් දාලාය. ඔය පසිංගලයෙ තියෙන සුවිශේෂම කාරණාව ඒ මතුපිට වර්ණය පිටතින් වැටෙන ආලෝකය අනුව වෙනස්වීමේ විශේෂ ගුණය නිසාය. පසිංගලයක් මතුපිටට ස්වභාවික ඉර එළිය වැටෙන කොට කොළ පාටකට දිලිසෙන්නේය. කෘත්‍රිම ආලෝකයට රතු පාටට දිලිසෙන්නේය.

ඒ හින්දාම පසිංගලය ආභරණ වාගේ සෑදීමට මිලට ගැනීමට ඉල්ලුම ඉතා වැඩිය. මිලත් ඊට දෙවෙනි නැතිය. මැණික් ගලකට මිලක් තස්කේරු කිරීමක් එහෙම ලේසියෙන් කරන්නට නම් බැරිය.

රත්තරන් පවුම්වල වාගේ මැණික්වල බර කැරට්වලින් මැන්නත් බරට පමණක් මිල නියම කරන්නේ නැතිය. කැපුමේ නිමාවට, ගලේ පිරිසිදුකම,බර, වර්ණය යන සාධක සියල්ලම සලකා බලන්නේය. ගල් 100ක් අරගත්තොත් ගල් 100ට මිල සීයක්ය. ඒ අතර අතිශය දුර්ලභ වර්ගයේ නිල් ආරු නූල වැනි ගලක්, කණක වෛරොඩියක් වැනි ගලකට ඒ මැණික් ගලේ ඇති දුර්ලභකම නිසාම වටිනාකම ප්‍රමාණය කිරීමට බැරිය. මේ මැණික් මිල කළ නොහැකි වන්නේ ඒ නිසාය.

වටිනාකම තක්සේරු කරන්නට ගලක් අතට ලැබුණම ඉස්සරලම කරන්නේ, තක්සේරු කරන්නට වුවමනා ගල කුමක්දැයි හඳුනා ගන්නා එකය. මැණිකක් කියන්නේත්, පොළොවෙන් මතුවෙන ඛනිජ වර්ගයක් නිසා, පොළොවෙන් මතුවෙන පාෂාණයේ මැණිකක් බවට පත්ව ඇති කොටස මුලින්ම වෙන්කර ගත යුතුය. ඒකට කියන්නේ ‘ගල ඉරනවා’ කියලා.

කණක වෛරොඩියත් එහෙම ඉරලා වෙන් කරගත්තු මැණිකක්ය. කණක වෛරොඩිය ඉරුවේ අපේ සුප්‍රසිද්ධ ක්‍රීඩක කුමාර් ධර්මසේනගේ මාමාණ්ඩි වන අබේගුණවර්ධන මහත්තයාය. අබේගුණවර්ධන මහත්තයා මැණිකක් ඉරනකොට, ඒ අදාළ පාෂාණය මතුපිටට ආලෝකය ලැබෙන්නට සලස්වා මැණිකක් බවට පත්ව ඇති පාෂාණ කොටස පැහැදිලිව හඳුනාගෙන ඒ ගල මුල් පාෂාණයෙන් වෙන්කර ගන්නේය. ‘ඉරනවා’ කියන්නේ ඒකටය.

රත්නපුරයේ පතල් මෙන් ඇළහැර, මොරවක් කෝරළයේ පතල්වල ගැඹුරට ඉල්ලම් හාරන්නේ නැතිය.

ඔය ඉඩම් ඒ කාලේ කොලනි ක්‍රමයට ලබාදුන් ඉඩම් නිසා, උපරිම වුණොත් ඔය පතල් තියෙන්නේ මාස හයක් වගේ කාලයක්ය.

ලංකාවේ මැණික්, නිතර සුලභව හමුනොවුණත් හමුවෙන මැණික කොලිටිය අතින් ඉහළ නිසා ඉහළ වටිනාකමක් ලැබෙන්නේය. ඒ නිසා ලංකාවේ මැණික් නම් ‘ලෝකෙටම ඉන්නේ එකෙක්’ වාගේ කැටගරියේ නිසා මේවායේ වටිනාකම අතින් බැලුවත්, මේවායේ දුර්ලභතාව අතින් බැලුවත් අගය උපරිමය. ‘මිල කළ නොහැකි මැණික්’ කියා හඳුන්වන්නේ ඒ නිසාය.

( උපුටා ගැනීම : අරුණ පුවත්පතෙන්)