NEWS

සංස්ථා සභාපතිගේ පඩිය ලක්ෂයයි : රියැදුරකුගේ පඩිය ලක්ෂ දෙකහමාරයි – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් 21 දා මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය. ඒ අවස්ථාවේදී ඔහු දැක්වූ අදහස්වලින් මෙම සම්මුඛ සාකච්ඡාව සකස් වී ඇත.

•ඔබ මුදල් අමාත්‍ය ධුරය භාර ගත් පසු ඉන්ධන මිල අඩු කරන බවට මැති ඇමැතිවරු පුරෝකථන ඉදිරිපත් කළා. ඔවුන් කියන හැටියට ඉදිරියේදී ඉන්ධන මිල අඩු කරන්න ඔබට පුළුවන් වෙයිද?

ඉන්ධන මිල අඩු කරන්න මමත් ආසයි. නමුත් ඉන්ධන කියන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමග තිබෙන ගනුදෙනුවක්. දේශීයව මැදිහත් වී හාල්, පොල් අඩු කරනවා වගෙ කරන්න අමාරුයි.

•ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පාඩු ලබනවා?

සංස්ථාවේ සේවකයන් හයදහසක් ඉන්නවා. නමුත් ලෝකෙම තෙල් ගැන පාලනය තියෙන ඔපෙක් සංවිධානයේම ඉන්නේ තුන්සීයකට අඩු සංඛ්‍යාවක්. සංස්ථාවේ සභාපතිවරයාගේ වැටුප ලක්ෂයයි. නමුත් රියැදුරකුගේ වැටුප රුපියල් ලක්ෂ දෙකහමාරක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගුවන් සමාගමත් එහෙමයි. ලෝකයේ වැඩිම සේවකයන් ඉන්න ගුවන් සමාගම තියෙන්නේ පාකිස්තානයේ. ඊළඟට වැඩිම සේවකයො ඉන්නෙ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ.

•බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුණා. විශ්වාසභංගයේදී උදය ගම්මන්පිලට ඔබ සහයෝගය දුන්නද?

අනිවාර්යයෙන්ම. ආණ්ඩුව තුළ විවිධ පක්ෂ විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් එම මත මතභේදයක් බවට පත්වෙන්න ඉඩ දෙන්නේ නැහැ. විශ්වාසභංගයෙන් වුණේ ආණ්ඩුව යළි පුනර්ජීවනයකට ලක්කිරීම පමණයි. ඒකට සමගි ජන බලවේගය අපිට උදව් කළා. ආණ්ඩුවේ තියෙනවයි කියලා හිතාගෙන හිටිය බෙදීම දැන් ඇති වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයේ.

•කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී වෙනවාද?

ඊට පිළිතුර ගත යුත්තේ ජනාධිපතිවරයාගෙන්. මොකද මම දැන් අමාත්‍යවරයෙක්නේ.

•ඔබ දැන් මුදල් ඇමැතිවරයා. ඇත්තටම ආණ්ඩුව මූල්‍ය අස්ථාවරයකද ඉන්නේ?

ඔව්. ආණ්ඩුවට මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයක් වෙලා. කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම අඩුවෙලා. සංචාරක ව්‍යාපාරය, විදේශ රැකියා, විදේශ ණය ලැබීම්, විදේශ සංචිත අවමවීම නිසා ගැටලු රැසක් තිබෙනවා.

ඔබ දන්නවා රට වැහුවාම සංචාරකයන් එන්නෙ නෑ. එතකොට හෝටල් වැහෙනවා. හෝටලයට බිත්තර දීපු කෙනාගෙ ඉඳන් වාහන කුලියට දීපු කෙනා වාගේම වැල්ලේ අලි රූප විකුණපු කෙනා වාගේම හබරණ සංචාරකයන් පිට උඩ තියාගෙන ගිය අලි ඇත්තුත් අසරණ වෙනවා. අපි ඇත්ත කතා කළොත් අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්.

•විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යෑමේ අඩුවක් තියෙනවද?

ඔව්. සාමාන්‍යයෙන් වසරකට විදේශ රැකියා සඳහා දෙලක්ෂ තිස්දහසක් පමණ විදේශ රටවලට යනවා. ප්‍රධාන වශයෙන් රටවල් 25ක ලාංකිකයන්ගේ වැඩ බිම් තියෙනවා. නමුත් මෙම වසරේදී මේ රටවලට ගොස් ඇත්තේ තිස්දහසක් පමණයි. ඒ වාගේම කොවිඩ් වසංගතය හේතුවෙන් අපි ශ්‍රමිකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ලංකාවට ගෙන්වා ගත්තා. ඔවුන් නැවත ගියේ නැහැ. එමනිසා ඩොලර් ලැබීමේ අඩුවක් තියෙනවා. ගුවන් ටිකට් පත් ආයතන, විදේශ රැකියා ආයතනවලටද මෙය පාඩුවක්. මේ නිසා විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම කඩිනම් කළ යුතුයි. මොකද වසරකට ඩොලර් මිලියන හතකටත් වඩා මෙරටට ගෙනාවේ මේ ශ්‍රමිකයන්.

•සංචාරක ව්‍යාපාරය, නිමි භාණ්ඩ අපනයනයෙන්ද විදේශ ආදායම ලැබෙන ප්‍රමාණය අවම වෙලා නේද?

සංචරණ සීමා හේතුවෙන් දේශීයව දේශීය ජනතාවට විවෘත කර ඇති හෝටල්වලටද පාඩුයි. ඔවුන්ගේ ගැටලු මට දැනුම් දී තිබෙනවා. ඒත් ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් කරන්න බැරි අපනයන අප සතුයි. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය. ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාල ඕඩර්ස් ලැබුණත් අපේ කම්හල්වලට ශ්‍රම හිඟය ප්‍රශ්නයක්. පළාත් සංචරණ සීමා හේතුවෙන් සේවකයන්ට එන්න බැහැ. ආයෝජන කලාප ආශ්‍රිත නේවාසිකාගාර කොවිඩ් නිසා වැඩ කරන ළමයින්ට දෙන්නේ නැහැ. මේ වාගේ විවිධ ප්‍රශ්න අපි හඳුනාගෙන තියෙනවා. එම නිසයි මම අපනයන ක්ෂේත්‍රයේ අය ගෙනල්ලා ප්‍රශ්න කතා කළේ. දැන් අපනයන ක්ෂේත්‍රයේ අයටත් එන්නත දෙනවා. අපනයන ක්ෂේත්‍රය දිරි ගන්වා රටට මුදල් ගෙන්වා ගැනීම මගේ අරමුණයි.

•අමාත්‍යවරුන්ගේ පටි තද කරගන්නත් ඔබ උපදෙස් දුන්නද?

ඉදිරි හය මාසයේදී සියලු අතිරේක වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස මම උපදෙස් දුන්නා. අමාත්‍යවරුන්, ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරු හා දිස්ත්‍රික් ලේකම්වරුන්ද දැනුවත් කළා. රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගැනීම් නතර කිරීම, වාහන ගැනීම නතර කිරීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳව මැති ඇමැතිවරු දැනුවත් කර තිබෙනවා. ඇමැතිවරු මේ ගැන හොඳටම දැනුවත්. ඒ නිසා ඊට එකඟත්වය පළ කළා.

•නමුත් පසුගිය කාලයේ කළ සංවර්ධන ව්‍යාපෘති, ඖෂධ මිලදී ගැනීම් සඳහා හිඟ බිල්පත් ගෙවන්න තියෙනවානේ?

පසුගිය කාලයේ ගෙවන්න තිබූ හිඟ බිල්පත් සියල්ල ගෙවා අවසන් කර තිබෙනවා. මොන දුෂ්කරතාවයේ සිටියත් රජයට සේවා සපයපු අයගෙ ගෙවීම් අපි ප්‍රමාද කරන්නෙ නෑ. රුපියල් බිලියන 243 ක මුදලක් දැන් තිබෙනවා. ගිය ආණ්ඩුව ගෙවන්න තිබුණ බිල්වලටත් අපි ගෙව්වා. තව වැඩිම වුණොත් මාසයක පමණ බිල්පත් ගෙවන්න ඇති.

•විදේශ ණය ගෙවීම කොහොමද?

විදේශ ණය නිවැරදි ආකාරයෙන් ගෙවා තිබෙනවා.

•සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉදිරි අනාගතය කෙබඳු වෙයිද?

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූලික අරමුදලක් දීලා ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ව්‍යාපාර කඩා වැටිලා. ඇතැම් සුළු ව්‍යාපාර ආරම්භ කරන්න රුපියල් දසදහසක මුදලක් වුණත් ප්‍රමාණවත්. එලෙස පටන් ගන්න පුළුවන් ව්‍යාපාර කරන අය ලක්ෂයක් විතර ඉන්නවා. මූලික අරමුදලක් දීම නියාමනය විය යුතුයි. මොකද එදා දිවි නැගුමෙන් මේ රටේ ග්‍රාමීය පවුල් ලක්ෂ ගාණක් නංවන්න අපි උදව් කළා. ඒත් අපිව උසාවි ගෙනිච්චා. නැතිනම් මට ආයෙමත් උසාවි ගානේ යන්න වේවි.

•දැනට විදේශ ආයෝජන රටට ලැබෙනවාද?

මහා පරිමාණ විදේශ ආයෝජන හයක් ලැබී තිබෙනවා. ෆෝට් සිටියට තමයි එම ආයෝජන ලැබී තියෙන්නේ එහි වටිනාකම ඇමරිනානු ඩොලර් බිලියනයක් විතර ඇති.

•සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් විස්සකින් අඩු කිරීමට ඔබ සූදානම් බව මාධ්‍යයේ පළවී තිබුණා?

අපේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් හතරදෙනා පසුගිය කාලයේ විශාල ආදායමක් ලැබුවා. ඔවුන්ට දැන් පුළුවන් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සහනයක් දෙන්න. බහුජාතික සමාගමක් වන ප්‍රීමා ආයතනයෙන් අපි ඉල්ලීමක් කළා පාන් පිටි වැඩි කරන්න එපා කියලා. එම සමාගම ඉල්ලීම ඉටු කළා. ඇයි අපේ රටේ වී මෝල් හිමියන්ට ජනතාව වෙනුවෙන් සහනයක් දෙන්න බැරි? මට හිතෙන හැටියට රුපියල් දහයක් – විස්සක් වැනි මුදලකින් සහල් කිලෝග්‍රෑමයක් අඩු කරන්න පුළුවන්.

•එහි වගකීම තියෙන්නේ වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට නේද?

මම ‍වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යවරුන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් වී මෝල් හිමියන් හමුවෙලා වී මිලදී ගැනීමේදී උපරිම මිල ඉක්මවා ලබා ගැනීම නතර කර තිබෙනවා. වී විකුණා ගැනීමට නොහැකි බවට ගොවි ජනතාව නගන චෝදනාව අපි අවසන් කර තිබෙනවා. ගොවියාට හොඳ මිලක් ලැබෙනවා.

•නමුත් ගොවි ජනතාව පොහොර නැහැ කියලා උද්ඝෝෂණය කරනවානේ?

පොහොර උද්ඝෝෂණ ගොවියාගේ පොදු ප්‍රශ්නයක් නොවෙයි. ඒක නොයෙක් පාර්ශ්ව කෘත්‍රිමවත් මතු කළා. නමුත් ගොවියා වාගේම රටත් ජනතාවත් කාබනික පොහොර වගාව පැත්තේ හිට ගත්තා. ඒ නිසා ඒ අය ඒ උද්ඝෝෂණ නතර කරලා දැන් වෙන වෙන බෝඩ් උස්සගෙන ඉන්නවා. දැන් උද්ඝෝෂණත් අඩු වෙලානේ.

•රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ඔබත් එකඟද?

වත්මන් රජය ගත් හොඳම තීන්දුව එයයි. වකුගඩු රෝගීන් ආරක්ෂා කරගන්න පුළුවන්. වී වගාවට හා එළවළු වගාවට රසායනික පොහොර එපා. නමුත් තේවල ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් ව්‍යාපාරවලට යූරියා ආනයනය කිරීමට බලපත්‍ර දී තිබෙනවා. උදාහරණයක් ලෙස විසිතුරු මල් වගාවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි ආනයනය කළ යුතුයි.

•මෙම තීරණය නිසා ඉදිරියේදී ආහාර හිඟයක් එන්න පුළුවන් කියා මත පළ වෙනවා?

ආහාර හිඟයක් ඇතිවෙන්නේ නැහැ කියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය සහතිකයක් දී තියෙනවා. මේ ගැන බය වෙන්න එපා. එදා යුද්ධ කරන කොට ලෝක ආහාර අර්බුදයක් ආවා. ඒත් අපි එක වේලක් ජනතාව බඩගින්නෙ තිබ්බෙ නෑ.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)