NEWS

කොවිඩ් රෝගීන් දිනෙන් දින ඉහළට : ඩෙල්ටා ප්‍රභේදය නිසාදැයි සැකයක්

ගෙවුණු දින කිහිපය තුළ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයෑමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සැක පළ කර සිටිනවා.

” ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම සම්බන්ධයෙන් වාර්තාව එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට, අධ්‍යක්ෂතුමාට සහ වසංගත රෝග විද්‍යාඥතුමාට. ඩෙල්ටා ප්‍රභේදය අලුතෙන් ආසාදනය වූ අය ගැන මම ඇහුවාම කිව්වේ සැකසහිත රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා තවම තහවුරුවීම ලැබුණේ නෑ කියලා. අද දවසේ මට ඒ වාර්තාව ගැන අහන්න බැරි වුණා. සඳුදා වෙනකොට ඒ දත්ත ගැන සොයා බලලා කියන්න පුළුවන්.

අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය අනික් ප්‍රභේදවලට වඩා සීඝ්‍රයෙන් පැතිරෙනවා. ආසාදනයවීමේ හැකියාව වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා මුළු ලෝකයේම අනාගතයේ වැඩියෙන්ම පැතිරයන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකියි කියලා. ලංකාවෙත් එසේ විය හැකියි. දැනට ලංකාවේ ව්‍යාප්තවීම ගැන සොයාබලා යනවා. මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක තමයි මේක කොයි තරම් දුරට පැතිරෙනවා ද කොයි තරම් දුරට පාලනය කරන්න පුළුවන් ද කියන එක රඳා පවතින්නේ.” සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කර සිටියා.