NEWS

මොඩර්නා එන්නත ගැන අසත්‍ය පුවත් පැතිරූ අය සොයා විමර්ශන ඇරඹේ

මොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරය කරන්නන් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මොඩර්නා එන්නත සම්බන්ධයෙන් මුහුණු පොත, මැසෙන්ජර් සහ වට්සැප් හරහා අසත්‍ය ප්‍රචාර සිදුවෙමින් පවතින බවට මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා ඉකුත් ජුලි 21 චෙනිදා දින මහනුවර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ දිනවල මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව එන්නත්කරණය සිදුවෙමින් පවතින අවස්ථාවක මෙවැනි ප්‍රචාර මගින් එන්නත්කරණය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳවැටීම නිසා මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස අදාළ වෛද්‍යවරයා පැමිණිල්ල මගින් ඉල්ලා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මනුෂ්‍ය ශරීරයට මෙම එන්නත අහිතකර බවත් එයට නැනෝ තාක්ෂණය ඇතුළත් කර ඇති බවටත් අදාළ අසත්‍ය ප්‍රචාරවල සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ සම්බන්ධව විමර්ශනය කිරීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.