NEWS

ශ්වසන ආබාධ සහිත සිසුන්ට පාසල් ආරම්භයටම පෙර කොවිඩ් එන්නත

ශ්වසන ආබාධ සහිත තුන්දහසකට ආසන්න සියලුම සිසුන්ට පාසල් ආරම්භයට පෙර කොවිඩ් එන්නත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ශ්වසන ආබාධ සහිත තැනැත්තන්ට කොවිඩ් වයිරසයේ බලපෑම වැඩවීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

හතළිස් තුන් ලක්ෂයක් පමණ වන සියලුම සිසුන්ට පාසල් ආරම්භයට පෙර එන්නත එකවර ලබාදීමට නොහැකි වුවත් ශ්වසන ආබාධ සහිත සියලුම සිසුන් පාසල් කැඳවන්නේ එන්නත ලබාදීමෙන් පසුව බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ. තුන්දහසකට ආසන්න සිසුන් සංඛ්‍යාවක් ශ්වසන ආබාධවලින් පෙළෙන බවට අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ.

මෙම අවශ්‍යතාව පිළිබඳව මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බව කී ඒ මහතා එවැනි දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ දැඩි අවධානය යොමු විය යුතුව ඇතැයි ද සඳහන් කළේ.

අමාත්‍යාංශය දැනට තීරණය කර ඇත්තේ ගුරුවරුන්ට හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත ලබා දීමෙන් පසු අදියරෙන් අදියර පාසල් ආරම්භ කිරීමටයි.