NEWS

ඔන්ලයින් ඉගෙන ගන්න ස්මාර්ට් දුරකථනයක් නොමැතිව සිසුවා සියදිවි නසා ගනියි

මාර්ගගත අධ්‍යාපනය ලැබීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැතිව වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු සිය නිවසේදීම සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාරියපොළ පොලිස් බල ප‍්‍රදේශයේ වාර්තා වනවා.

වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු කවිඳු දිල්හාන් කේෂර විජේරත්න (16) සිසුවා පසුගියදා ඔහුගේ කාමරයේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව වාරියපොල පොලිසිය සඳහන් කළේ.

වැඩිමල් සොයුරෙක් සහ බාල සොයුරියක් සිටින සියදිවි හානිකරගත් කවිඳු පවුලේ දෙවැනි දරුවා වන අතර මෙදින, දෙමාපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණි කවිඳු දරුවාට කතාකළත් ඔහුගෙන් පිළිතුරක් නොලද නිසා කාමරයේ දොර විවර කර බැලීමේදී ගෙල වැළලාගෙන සිටි කවිඳු දුටු බව පොලිසියට පැවසූ බවත් අනතුරුව කුරුණෑගල පළාත් මහ රෝහලට දරුවා රැගෙන ගිය බවත් වාරියපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තලවත්ත පැවසුවේ.

මාර්ගත අධ්‍යාපනය සදහා අවශ්‍ය ජංගම දුරකථන පහසුකම් නොමැතිවීම දරුවාගේ සියදිවි හානිකර ගැනීමට හේතුව බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවත් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.පී.කේ.විජේවීර මහතා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී සිසුවාගේ ගෙල සිරවීමෙන් සිදුවු මරණයක් බවට තහවුරුවී ඇත. එළවිටිගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රම පුෂ්ප හේරත් විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.