NEWS

ජාතික රෝහලේ සිටින කොවිඩ් රෝගීන් 100 දෙනෙකුට ඔක්සිජන් අවශ්‍යයි

සංචරණ සීමා පනවා තිබුණු කාල සීමාවට සාපේක්ෂව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇතැයි එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මීට දෙසතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලේ කොවිඩ්-19 රෝගීන් සිටියේ 100ක් පමණ බවත් මේ වන විට එය 200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ සිටින කොවිඩ් රෝගීන් රෝගීන් 200 දෙනා අතරින් ඔක්සිජන් ලබා ගන්නා රෝගීන් 100 දෙනෙකු ද සිටින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

“දැන් අපි කතා කළොත් ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද තියෙන තත්ත්වය ගැන, අද අපේ කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු කළ රෝගීන් දැනට අද 200ක් ඉන්නවා. දැනට සුමාන දෙකකට පමණ මේක හිටියේ 100ක් විතර. දැන් අර සංචරණ සීමා පැනවීමත් එක්ක තමයි ඉස්සෙල්ලා 160 තිබිලා මේක 100ට අඩු වුණේ. ඉතා ම වේගයෙන් ඒ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ සමග ඔක්සිජන් දෙන්න අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව අද 100ක්. ඒ කියන්නේ හරියට ම 50%කට ම ඔක්සිජන් අවශ්‍ය වෙනවා ඒ ගොල්ලන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. මේ වැඩි වීමට හේතුව අපිට හරියට ම කියන්න බැහැ.” විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.