NEWS

කෝටි 4000 ක තැන්පතුවක් තිබෙන මහපොල පනත වෙනස් කිරීමේ සූදානමක් ?

අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන ආ මහපොළ භාරකාර අරමුදල් පනතේ ස්වාධීනත්වය අහිමි කෙරෙන අන්දමින් සංශෝධනය කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බව වාර්තා වේ.

දැනට රුපියල් කෝටි හාරදහසකට අධික මුදලක් මෙම අරමුදලෙහි පවතින බැවින්, මෙසේ පනතට සංශෝධන එක්කිරීමට උත්සාහයක යෙදෙන බවට තොරතුරු වාර්තා වේ.

කඩිනමින් මෙම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට යන බව ද දැනගන්නට ඇත.

වසර 40ක කාලයක් මුල්ලේ 1981 අංක 66 දරන පනතට අනුව අග විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන ආ මහපොළ භාරකාර අරමුදල් පනත වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් දියත්ව ඇත.

මහපොළ ඇරඹූ ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා එයට කිසිසේත් ම දේශපාලනය සම්බන්ධ කර නොගනිමින් එහි සභාපතිත්වය අගවිනිසුරුවරයා පත්කිරීමට තීරණය කළේ එම පදවියට තිබෙන ඉහළ ම ස්වාධීනත්වය මහපොළ අරමුදලට ද ලැබෙන නිසා බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට රුපියල් බිලියන 40කට අධික මුදලක් වසර 40ක් පුරා කිසිදු දූෂණයකින් තොරව පරිහරණය කරමින් සරසවි සිසුන් විශාල පිරිසකට එහි ප්‍රතිලාභ ලබා දීමට හැකි වූයේ එහි අපක්ෂපාතී කළමනාකරණය නිසා බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

අගවිනිසුරුවරයාගේ තනතුරට අදාළව මිස වෙනත් අවශ්‍යතා මත එහි භාරකාරීත්වය දේශපාලකයන් අතට පත් වුවහොත් අරමුදල සතුව තිබෙන සුරක්ෂිතතාව හා ස්වාධීනත්වය මුළුමනින් ම ගිලිහී යනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි