NEWS

සිරුරුට ගිනි ඇවිලී මියගිය මන්ත්‍රී රිෂාඩ් ගේ නිවසේ සේවය කළ දැරිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරයි.

මෙම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර ඇය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බවටද අනාවරණය වී තිබේ.

එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පසුගිය ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15) මිය ගිය බවයි පොලිසිය සඳහන් කළේ.