NEWS

මන්ත්‍රීවරුන්ට ගෙන්වන සැප වාහන ගැන ජවිපෙ තීරණය හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා සුපිරි මෝටර් රථ ගෙන්වීම නතර කිරීමට නොහැකි නම් ඒවා ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කර මුදල් රජයට ලබා ගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ සඳහන් කර සිටියා.

මෙම වාහන ගෙන්වීම මුළුමනින්ම ජාවාරමක් බවත් වාහන ගෙන්වීම සඳහා අපේ‍්‍රල් මස 22 වැනිදා ණයවර ලිපි නිකුත් කර මැයි මස 18 වැනිදා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කිරීමෙන් එය පැහැදිලි වන බවයි ඔහු සඳහන් කර සිටියේ.

කැබිනට් මණ්ඩලය අනුමත නොකර ණයවර ලිපි නිකුත් කරන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයක් බවත් කී දිසානායක මහතා වංචාව වසාගැනීම සඳහා කැබිනට් පත‍්‍රිකාව යොමු කර ඇති බවද පෙන්වා දුන්නා.

ණයවර ලිපි නිකුත් කර ඇති බැවින් වාහන ගෙන්වීම නතර කළ නොහැකි බව රජය පවසන්නේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ නොදැන දැයි මන්ත්‍රීවරයා විමසා සිටියා.

රට තුළ මෙවැනි විපත්තියක තිබියදී තම ආසනයේ මන්ත‍්‍රීවරයකු එකී වාහනයෙන් ගමට පැමිණෙන්නේ නම් ඊට ඉඩ නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, යම් මන්ත‍්‍රීවරයකු එසේ පැමිණෙන්නේ නම් එය මිනිස් සිරුරු මතින් රථවාහනය පදවා ගෙන යෑමක් වන්නේ යැයි ද කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.