NEWS

පොලිසියේ නිවේදනයක් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවදානය

අසමගිය, වෛරය හා කොවිඩ් 19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ විශේෂ අවදානය යොමුවී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියාසිටියේ වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීතීඥ සංගමයේ විරෝධයක් නොමැති බවයි.

එහෙත් අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් එම නීති භාවිතා නොකරන බවට සහතික කිරීම වැදගත් බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක් ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති අය පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වන බව ද එමගින් සඳහන් කර තිබෙනවා.