NEWS

කොවිඩ් මර්ධන කමිටුවේදී ජනපති ගත් විශේෂ තීරණ

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියා.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා සඳහන් කර සිටියා.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ.

එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.

මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.