NEWS

ජනාධිපතිවරයකු බිහි කළ බඳවා ගැනීමට වසර පනහයි

පනස් වසරකට පෙර මේ රටේ ඉතිහාසය වෙනස් කළ එක් දිනයක් පිළිබඳව මේ කතාවෙන් කියවෙනු ඇත. එදා අපේ‍්‍රල් 26 වැනිදා දවසකි. ලංකා යුද හමුදාව සඳහා කෙඩෙට් නිලධාරීන් බඳවා ගැනීම යන ශීර්ෂයෙන් යුත් දැන්වීමක් රජයේ ගැසට් පත‍්‍රයේ පළවූයේ 1970 වර්ෂයේදීය. යුද හමුදාවට බැඳීමේ පිස්සුව සැදුණු තරුණ ප‍්‍රජාවක් මේ දැන්වීම පසුපස හඹා යන්නේ, නිල ඇඳුම් දරා විරාජමාන වීමේ සිය සිහිනය සැබෑ කර ගැනීම සඳහාය. එදා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බඳවා ගැනීම සඳහා අයැදුම් පත‍්‍රයක් යොමු කරන ලද මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි, අද බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිය කර්තව්‍ය ඉටු කරනු ලබයි. ඔහු දිග හරිනු ලබන මතකය රටේ නායකත්වය සඳහා අනාගත පෙර පුහුණුවක කතාව සේම, දශක තුනක ත‍්‍රස්තවාදය වසර තුනක් තුළ නිමා කිරීමේ ප‍්‍රයාමය සඳහා ද පදනම සපයා දී ඇති බව ද කිව හැකිය.

”ඒ කාලයේ තරුණ පිරිස අතර යුද හමුදාවට බැඳීමේ වුවමනාව ඇති වුණේ, ඔය නිල ඇඳුම නිසා, ආමි යුනිෆෝම් එකක් ගහලා ඉන්න හීනය එදා හිටිය තරුණයෝ ගොඩකට තිබ්බා. පළවුණු ගැසට් නිවේදනය අනුව, ඒ සඳහා ඉල්ලූම් කරපු බොහෝ දෙනෙක්, මේ යුනිෆෝම් පිස්සුව තිබුණු අය කිව්වොත් මම නිවැරදියි. නිල ඇඳුම ඇඳලා ජීප් එකක නැගලා යන කොට තියෙන ආඩම්බරය පිළිබඳව, අපි හැමෝටම වගේ හීනයක් තිබ්බා. මට මතක හැටියට එදා එම තනතුරු සඳහා ඉල්ලූම් පත‍්‍ර හාරදහසක් පමණ ඇවිල්ලා තිබ්බා. සම්මුඛ පරීක්ෂණය තිබ්බේ, කොටස් වශයෙන්. මුලින්ම අපේ සහතික පරීක්ෂා කළා. OQT හෙවත් OFFICER QULIFIED TEST යන පද අරුත් ඇති තත්ත්වයෙන් උසස් පුද්ගලයන් තෝරා ගැනීමේ පරීක්ෂණය, එහි දෙවැනි වටය ලෙස පවත්වන්නේ, පනාගොඩ යුද හමුදා කඳවුරු භූමියේය. මේ පරීක්ෂණයේදී ප‍්‍රමුඛතාව ලබා දුන්නේ, ඉල්ලූම්කරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවය. එසේම ඔවුන්ගේ පරිකල්පන හැකියාව සහ සන්නිවේදන දක්ෂතාවද මෙහිදී මැන බැලූවා. ක්ෂණිකව ලබා දෙන මාතෘකාවක් ඔස්සේ විනාඩි පහක් කතා කිරීම, නායකත්ව හැකියාව, ස්ථානෝචිත ප‍්‍රඥාව වැනි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවන් පිළිබඳව මෙම පරීක්ෂණයේදී සලකා බැලූවා. මේ කාලයේ අපි තරුණ ගැටව්… සමහර දේවල් පරීක්ෂණ කියලා, නොතේරෙන ආකාරයට තමයි ඒ අය සංවිධානය කරලා තිබ්බේ.

එදා ශාරීරික අභ්‍යාස එහෙම කරලා අපි හිටියේ ගොඩක් මහන්සි වෙලා. ඊට පස්සේ අපිට දවල් කෑම දුන්නා. කන්න තිබ්බේ, හැඳි ගෑරුප්පුවලින්. මම බඩගිනි වැඩිකමට ටිකක් ඉක්මනට කෑම ගත්තා. දිවා ආහාරය ද අනුභව කරන ආකාරය නිරීක්ෂණය කරන බව මට තේරුණේ පිඟානෙන් භාගයක් කෑම කෑවාට පස්සේ. ඒ පරීක්ෂණය නම් මා අසමත් වූ බව කෑම පිඟාන ඉවර වෙනකොට මම තේරුම් ගත්තා.’’

* සිරිමාවෝගේ තීරණයක්

මේජර් ජෙනරාල් මල්ලවආරච්චි මේ පවසන්නේ වසර පනහකට පෙර අතීත කතාවකි. ලංකා යුද හමුදාව සඳහා කෙඩෙට් නිලධාරීන් ඉඳුරාම බඳවා ගන්නා බව ගැසට් නිවේදනයක් මගින් පැවති රජය ප‍්‍රසිද්ධියට පත් කරන්නේ, යුද හමුදාව සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ නව අරමුණක් සහිතවය. 1970 වසරේ පවත්වන ලද මහ මැතිවරණයේ දී, ශ‍්‍රී. ලං. නි. ප., සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව සමගි පෙරමුණ ලෙස තරග වැදුනි. එයට ආසන 168 න් 116 ක්, එනම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් දිනා ගත හැකි විය. මෙම ප‍්‍රතිඵලය අනුව නැවත වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග‍්‍රාමාත්‍යධුරය සඳහා පත් වූවාය. ජවිපෙ සන්නද්ධ ආකාරයෙන් නැගී සිටින්නේ එම රජයට එරෙහිවය.

”ඔව් මේ කාලයේදී ජවිපෙ කියන රැඩිකල් තරුණ නැගිටීම සිදුවුණා. තනි කාණුවේ තුවක්කු, ගල්කටස්, රට තුළ නිපදවන ලද තුවක්කු, වලින් සන්නද්ධව සිටි තරුණ පිරිස් 1971 අපේ‍්‍රල් පස්වෙනිදා වැනිදා වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දුන්නා. ඔවුන්ගේ අරමුණ වුණේ, එකම දිනක, ලංකාවේ සියලූම පොලිස් ස්ථාන සඳහා එකවර පහරදීම වුණත්, මොණරාගල දිස්ත‍්‍රික්කයේ සටන්කාමින් කුමන හෝ හේතුවක් මත වේලාසනින් සිය ප‍්‍රහාරය දියත් කරපු නිසා, ජවිපෙ සතුව තිබූ රට ඇල්ලීමේ සැලසුම අසාර්ථක වුණා. මේ වන විට අග‍්‍රාමාත්‍යවරියට තිබූ අභියෝගය වූයේ මෙලෙස සන්නද්ධ නැගිටීම් නැවත වරක් සිදුවුවහොත් ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන අගමැතිතුමිය සාකච්ඡා කළා. වහාම යුද හමුදාවේ බල සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය එහිදී එකඟවුණා. ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා යුද හමුදාව සඳහා කෙඩෙට් නිලධාරීන් තිස් දෙනකු බඳවා ගැනීමේ ගැසට් පත‍්‍රය රජය විසින් නිකුත් කළා. මේ සඳහා ඉල්ලූම් කරපු සියලූ දෙනාම පාහේ එක්කෝ පාසල් යමින් සිටි ගැටව්. නැත්නම් ඒ ආසන්න කාලයේ පාසල් ජීවිතය නිමා කරපු අය.

* ස්මාර්ට් දළුවත්ත

අදාළ තෝරා ගැනීමේ පරීක්ෂණ ඉවර වුණහම ‘ඔබ තෝරා ගෙන ඇත’ කියලා ලිපියක් අපට ලැබුණා. එහි තිබුණේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව සඳහා ඔබ තෝරාගෙන ඇති බැවින් කොළඹ යුද හමුදා මූලස්ථානයට අපේ‍්‍රල් මස 26 වැනිදා වාර්තා කරන ලෙසත්, එහි පැමිණි පසු අදාළ දැනුවත් කිරීම් සිදු කර දියතලාව යුද හමුදා පුහුණු කඳවුර වෙත ඔබ පිටත් කර යවනවා, කියන එක. ඒ එනකොට රැගෙන ආයුතු බඩු ලැයිස්තුවක්, අපිට යුද හමුදාවෙන් එවලා තිබ්බා. සුදු කොට කලිසමක්, සුදු ටී ෂර්ට් එකක්, කැන්වස් සපත්තු දෙකක්, මේස්, ආදිය රැගෙන එන ලෙස එහි සටහන්ව තිබ්බා. එවකට බාලදක්ෂ මාවත කියන ලෝවර් ලේක් පාරේ පිහිටි ආධුනිකයන් බඳවා ගැනීමේ කාර්යාලය සඳහා අපි සියලූ දෙනා වාර්තා කළා. මගේ විද්‍යාලයෙන් ඒ කියන්නේ ආනන්දයෙන් මේ බැච් එකට කිහිප දෙනකු ඇවිල්ලා හිටියා. ගෝඨාභය රාජපක්ෂ, ගාමිණි ගුණසේකර, සිසිර විජේසූරිය, කපිල හෙට්ටිආරච්චි වගේ අය මේ බැච් එකේ හිටියා. ඒ සියලූ දෙනා විද්‍යාලයේ ටයි එක ඇඳලා තමයි ඇවිල්ලා හිටියේ…

එතැනදී අපිව බඳවා ගත්තා. එතැන බොහෝම කාර්යබහුල ස්ථානයක්. එදා රෑ, යුද හමුදා මූලස්ථානයේ භට නිවසක් අපිට නිදා ගන්න දුන්නා. එදා රෑ අපිට කෑම දුන්නා. පහුවදා අපිව බස් එකකට නැග්ගුවා. අපි සියලූ දෙනා එකට බෑග් එහෙම අරගෙන නැග්ගා. මේ බස් එකේ, ඉස්සරහ යනවා අණ දෙන්නා වගේ උඩු රැවුලක් තියෙන, උස, හැන්ඞ්සම් චරිතයක්. අපි ශිෂ්‍ය භටයෝ විදිහට ස්මාර්ට් අය දැකලා තියෙනවා. ඒත් මෙයා ඒ සේරමට වැඩිය ස්මාර්ට්. පස්සේ තමයි අපි දැන ගත්තේ ඒ කැප්ටන් රොහාන් දළුවත්ත කියලා. කැප්ටන් දළුවත්ත එතකොට යුද හමුදාපතිගේ අධි සහයක. අපේ කණ්ඩායමේ විසි නව දෙනෙක් හිටියා.

* සියලූ වස්තුව අලි කකුලේ

මේ බැජ් එක දියතලාවට ගෙන යෑම ඉතා වැදගත් කටයුත්තක් ලෙස සලකලා, යුද හමුදාපති ජෙනරාල් සේපාල ආටිගල ඔහුගේ අධි සහයක මේ කටයුත්ත සඳහා එවලා තිබ්බා. අපි බොහෝ දෙනෙක් ශිෂ්‍ය භටයෝ වෙලා හිටිය නිසා, දියතලාව කියන එක අපිට එතරම්ම අලූත් තැනක් වුණේ නැහැ. මම එහෙම කිහිප පාරක්ම කනිෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදිහට දියතලාවට ගිහිල්ලා තිබ්බා. දන්නවනේ ඒ සීතල… අපිට එදා රෑට පාන් භාගයක් විතර දුන්නා. පරිප්පු හොද්දක් කියලා, කහ පාට වතුරක් දුන්නා. පෙරවගන්න කියලා, පරණ බැලැන්කට් වගයක් දුන්නා. ඒවායේ ගඳ උහුලන්න බැහැ. ඒත් ඉතින් මොනවා කරන්නද, ඒ සීතලට පොරවගෙන නිදා ගත්තා. පහුවදා උදේ පාන්දර අපිට වේකප් කෝල් එකක් ගහනවා. අපි උදෙන්ම නැගිට්ටාම, පාන් භාගයයි අල හොද්දයි තමයි උදේ කෑම. එදා උදේ අපිව උපකරණ පාලකගේ ස්ටෝරුවට අරගෙන ගියා. අපිට බෙලෙක් කෝප්පයක්, බෙලෙක් පිඟානක්, වෙස්ටින් කියලා හතරැස් ටින් එකක් දුන්නා. බුට්, හිස් වැසුම්, මේස් අපිට එතැනින් නිකුත් කළා. මේවා ඔක්කොම දාන්න උස බෑග් එකක් දුන්නා. ඒකට කියන්නේ අලි කකුල කියලා. අලියෙකුගේ කකුල සයිස්මයි ඒක… උඩ ලණුවක් දාලා තියෙනවා, කට බඳින්න… ඔක්කොම බඩු දාන්නත් බැහැ, පයින් පාගලා දැම්මට පස්සේ, බෑග් එකේ බර කිලෝ විස්සක් විතර වෙනවා. එතකොට සාමාන්‍ය සෙබළෙකුට දෙන ඇඳුම් තමයි අපිට දුන්නේ. අපි නිලධාරීන් සඳහා පුහුණුවට ආවාට, පළවෙනි මාස කිහිපයේ අපිට සලකන්නේ ආධුනිකයෙකුට වගේමයි. වෙන කිසිම විශේෂ සැලකිල්ලක් නැහැ. මුල් දවස්වල අපිව කඳවුරු සංචාරයකට අරගෙන ගියා. එතැනදී, අර බෑග් එක ඔළුව උඩ තියාගෙන දුවන්න ඕනේ. අපිට ඇවිදින්න බැහැ. දුවන්න ඕනේ. ටයි එකයි අත්දිග කමිසය ඇඳලා, අපි කඳවුරු භූමිය දුව, දුව බලනවා. අපිට අදාළ තැන් හඳුන්වා දෙනවා. අපි දුව දුව බලනවා. හරිම මහන්සියි. කෑමක්වත් හරියට නැහැනේ. ඒ සංචාරය ඉවර වුණහම, ශාරීරික අභ්‍යාස ඇඳුමට විනාඩි පහෙන් මාරුවෙන්න ඕනේ. ඊට පස්සේ, ප‍්‍රධාන උපදේශකගේ කාර්යාලයට වාහන යන පාරේ, තණකොළ ගලවන්න දුන්නා. එකහමාරටත් දවල් කෑම නැහැ. එදාට අපිව බාර ඩියුටි ස්ටුඩන්ට් ඉන්නේ අලූවිහාරේ කියලා කෙනෙක්. හැම දවසේම අපි අතරින් කෙනෙක්ව ඩියුටි ස්ටුඩන්ට් කියලා නම් කරනවා. බඩගින්නේ ඉන්න බැරි තැනම, අපි අලූවිහාරේට කිව්වා ”මචං හරි මහන්සියි, බඩගිනියි… අපිට කෑම දෙනවාද කියලා අහපන්…’’ කියලා. එයා, ඒක ගිහිල්ලා ඇහැව්වා. ඒ අහපු නිසා කෑම හම්බුනේම නැහැ. ඊට පස්සේ තණකොළ උගුල්ලන ප‍්‍රමාණයත් වැඩි කළා. ඒ තමයි අපේ පළවෙනි දවස.

* පඩිය 430යි

මේ කාලයේ ජවිපෙ තර්ජන තිබ්බ නිසා, කඳවුර වටේම අගල් කපලා තිබ්බා. හැමදාම රෑට අපි දෙන්නා දෙන්නා ගානේ ඒ අගල්වලට බැහැලා, කඳවුර ආරක්ෂා කරන්න ඕනේ… ගල් තොප්පිය දාලා, ඕවර් රෝල් එක ඇඳලා, ත‍්‍රි ඕ ත‍්‍රි තුවක්කුව අරගෙන අපි කඳවුරු ආරක්ෂාව කරනවා. අපිට මෙහෙම රෑ නිදිමරන්න බැහැ… හරි අමාරුයි… ඒ නිසා එක්කෙනෙක් නිදා ගන්නවා, අනිත් කෙනා මුර කරනවා.

ගොඩක් වෙලාවට දෙන්නම නිදි… උපදේශකලා ඇවිල්ලා චෙක් කරනවා, එතකොට දෙන්නටම නින්ද ගිහිල්ලා. ඒවාට ෆර්නිෂ්මන්ට් හම්බු වෙනවා. ඊට පස්සේ අපේ දින චරියාව වුණේ, උදෙන්ම ශාරීරික අභ්‍යාස, ඊළගට පා සරඹ, ඊට පස්සේ අවි සරඹ, න්‍යායාත්මක පාඩම්, මේවගේ හතරහාමර වෙනකන් වැඩ… ඊට පස්සේ, දුවන්න ඕනේ… ක‍්‍රීඩා කරන්න ඕනේ… ඔහොම හැන්දෑව වෙනකන් වැඩ… මේ තමයි මුල් තුන් මාසයේ සැලසුම…

* හැම මාසයේම 26 වෙනිදාට අපිට පඩි දෙනවා. පඩිය රුපියල් 430යි.

මේ කාලය වෙනකොට ජ්‍යෙෂ්ඨයෝ තමන්ගේ පුහුණුව ඉවර කරලා, විසිර යෑමේ පුහුණු වැඩ සටහන සඳහා ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ගේ හැසිරීම, මේ නිලධාරීන් වගේමයි. බොහොම ලස්සනට බ්ලේසර් ඇඳගෙන, හැන්දෑවට බියර් වීදුරුවක් අතේ තියගෙන තමයි ඒ අය ඉන්නේ… මේ අයගේ විනෝදාංශය වුණේ, අපිට එක එක ඒවා කර කර උපහාස කරන එක. මේ විදිහට පාන්දර තුන විතර වෙනකන්, අපිට මේ අය උපහාස කරනවා.

පළවෙනි මාස තුනෙන් පස්සේ, අපිට පරීක්ෂණයක් තියලා, මේ රටාව ලිහිල් කරනවා. ඒකට කියන්නේ Passing Off The Square කියලා. ඒ කියන්නේ අපි සරඹ පිටිය සමත් වෙන්න ඕනේ. එතැනදී අපේ සරඹ බලනවා. සාමාන්‍ය දැනීම ප‍්‍රශ්න අහනවා.

* විජය විමලරත්නගෙන් කැලෑ පුහුණුව

gota4මේ පරීක්ෂණය සමත් වුණහම සතියකට සැරයක් එළියට යන්න දෙනවා. අපි බස් එකේ නැගලා බණ්ඩාරවෙල නගරයට යනවා. හන්දියේ චයිනිස් කැෆේ එකක් තිබ්බා, එකේ අයිතිකාරයාගේ නම මිස්ටර් ලී… ඒකෙන් අපි බියර් බෝතලයක් බීලා, නුඞ්ල්ස් කනවා. ඒ කාලයේ බියර් බෝතලයක් රුපියල් 15යි. කෑමටත් එක්ක අපි එක්කෙනෙකුට රුපියල් 22.50ක් විතර යනවා. දෙන්නා දෙන්නා තමයි යන්නේ… ඒ යනකොට අපි බ්ලේසර් ඇඳලා, එකට අඩිය තියලා යන්න ඕනේ.

අපේ කෑම්ප් එකේ හිටියා නියම ටේලර් කෙනෙක් එයාගේ නම සියාතු… මිනිහ තමයි මේ කෝට් අපිට මහලා දෙන්නේ. ඒවා බලන්න කටිටිය දාලා තියෙන්නේ… රෑට අපි දියතලාවේ රීගල් හෝල් එකට ගිහිල්ලා චිත‍්‍රපට එහෙම බලනවා. බණ්ඩාරවෙල එත්විල් හෝල් එකට එහෙම යනවා. ඔහොම ගිහිල්ලා අවසාන ටර්ම් එකේ අපිව ලාහුගල කැලේට එක්කගෙන ගියා. ඒ මුළු පුහුණුවම සූදානම් කළේ කපිතාන් විජය විමලරත්න… ඔහු මැලේසියාවේ සටන් පුහුණු පාඨමාලාවක් හදාරලා ඇවිල්ලා, ඒ ආභාෂය අනුව තමයි, මේ පුහුණුව සූදානම් කරලා තිබ්බේ. අපිට වෙනම නේවාසිකාගාරයක්, කුස්සියක්, කෑම ශාලාවක් හදලා, කඳවුරක් ඇති කරලා තිබ්බා.

එක සැරයකට මුර සංචාරයකට කැලේ ගියහම, දවස් හතරක් පහක් කැලේම ඉන්න ඕනේ… ඒ යනකොට අපි කෑම ගෙනියන්නේ ක්ෂණික පැකට් ආහාර… වතුර තමයි හොයාගන්න අමාරු… එතැනදී රැක සිට පහරදීම, රැක සිට පහරදීමෙන් ආරක්ෂාවීම, ආදිය අභ්‍යාස කරනවා.

* කඩවසම්, නිශ්ශබ්ද නිලධාරියා

මාස දහසයකට පස්සේ, 1972 මැයි මාසේ 25 වෙනිදා අපි පාස් අවුට් වුණා. පාසින් අවුට් පෙරඞ් එක පුරුදුවීම සඳහා සති දෙකක කාලයක් පමණ වෙන්වුණා. ඒ සඳහා ප‍්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතා තමයි ආවේ.

අපි තිස් දෙනාගෙන් දහ නව දෙනකුට අධිකාරි අසිපත හිමිවුණා. ඒ අනුව දෙවැනි ලූතිනන් නිලය සහිතව අපි යුද හමුදා නිලධාරීන් ලෙස පත් වුණා.

හමුදාවට බැඳීම සඳහා අයැදුම්පත් කැඳවනකොට රටේ නම ලංකාව. ඒ නිසා අපි පුහුණුවට බැඳුණේ ලංකා හමුදාවේ… අපි පුහුණුව ලබා, අධිකාරියට පත්වෙනකොට රටේ නම ශ‍්‍රී ලංකාව. අපිට අධිකාරිය ලැබුණේ ශ‍්‍රී ලංකා යුද හමුදාවට. ශ‍්‍රී ලංකා යුද හමුදාවට අධිකාරිය ලැබුණු පළමු පිරිස අපි…’’

මේ කණ්ඩායමේ විශේෂත්වය වනුයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම කොටසට අයත්ව සිටීමය. මේ සුවිශේෂ චරිතයේ එකල ‘හැටි කොහොමද’ යනුවෙන් මේජර් ජෙනරල් නන්ද මල්ලවආරච්චිගෙන් විමසිය යුතුමය.

”ඔහු ඉතාම කඩවසම් නිලධාරියෙක්… ඒ වගේම තමයි බොහෝම නිශ්ශබ්ද කෙනෙක්. කතා බහ කළේ ඉතා අඩුවෙන්… අවශ්‍ය තැන පමණයි ඔහු කතා කළේ… ඒ වගේම බුද්ධිමත්භාවය අතින් ඔහු සිටියේ ඉහළ තැනක.’’

වසර පනහක් සපිරෙන, කෙඩෙට් නිලධාරී පාඨමාලා බඳවා ගැනීම් අංක 04 කණ්ඩායම සඳහා එවකට අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මුල පුරන ලද්දේ, ජවිපෙ එල්ල කරන ලද කැරැල්ල හේතුවක් කර ගනිමින්ය. එසේ වුවත් මෙම බඳවා ගැනීම් අංක හතර කෙඩෙට් නිලධාරී පාඨමාලාවෙන් පිටවූ තරුණ දෙවැනි ලූතිනන්වරුන්ගේ සේවය නොමදව ලැබුණේ, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නිමා කිරීම සඳහාය. මේ පිළිබඳවද මේජර් ජෙනරල් මල්ලවආරච්චිගෙන් අපි විමසා සිටියෙමු.

”ඇත්ත වශයෙන්ම ඒ ගැන අපි ආඩම්බර වෙනවා. එදා අවසන් කිරීමට නොහැකි යැයි බොහෝ දෙනා සඳහන් කරන ලද ත‍්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක ලේකම් ලෙස නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ත‍්‍රස්තවාදීන් 2006 ජූලි 21 වෙනිදා ජනතාවගේ ජල අයිතිය උල්ලංඝනය කරමින් මාවිල්ආරු සොරව්ව වසා දැමුවා. 2006 අගෝස්තු 15 වැනිදා මාවිල්ආරු සොරව්ව මුදා ගනිමින් මානුෂිය මෙහෙයුමේ විජයග‍්‍රහණය සඳහා මම දායක වුණා. එවකට හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා, ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්ව සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබා, ලංකාවට පැමිණ තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටි නිසා, වැඩබලන හමුදාපති ලෙස මමයි කටයුතු කළේ.

* මේජර් ජෙනරාල්වරු හය දෙනෙක්…

එදා බැඳුණු පිරිසෙන් මේජර් ජෙනරාල් නිලයට පත්වූවන් ලෙස එම බඳවා ගැනීමේ ප‍්‍රථමයා වූ නිහාල් මාරඹේ, සුසිල් චන්ද්‍රපාල, පාලිත ප‍්‍රනාන්දු, ගාමිණි ගුණසේකර, සිසිර විජේසූරිය, අයිවන් දසනායක අදින් හඳුන්වා දිය හැකිය. ඒ වගේම මේ බඳවා ගැනීමේ නිලධාරීන් කිහිප දෙනකු රට වෙනුවෙන් සිය ජීවිතය පූජා කළා.

එදා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න සමග කයිට්ස් දූපතේ අරාලි තුඩුවේදී අපේ කණ්ඩායමේ තුන් දෙනකු දිවි දුන්නා. කර්නල් එච්. ආර්. ස්ටීවන්, කර්නල් නියෝමාල් පලිපාන, කර්නල් ජී. එච්. ආරියරත්න, යන එදා 1993 අගෝස්තු 08 වැනිදා මිය ගිය අයගෙන් තුන්දෙනෙක් අපේ බැජ් එකේ.’’

රටක් වෙනස් කරන ලද බඳවා ගැනීමක කතාව සාරාංශයක් ලෙස එසේය. ජනාධිපතිවරයෙක් රටකට දායාද කරමින් සතුරා දනින් වට්ටවන ලද නායකයෙක් එම බඳවා ගැනීම දේශයට බිහිකර දුන්නේය. ඒ පිළිබඳ මතකය අපට ගෙන හැර පාන ලද්දේ, එම බඳවා ගැනීමෙන් යුද හමුදාව තුළ ඉදිරියටම ගිය චරිතයය.

මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි පසු කලෙක යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දක්වා ඉහළට පැමිණියේය. යුද හමුදාවේ දෙවැනි තනතුර හොබවන ලද ඔහු පසුව වැඩබලන යුද හමුදාපති තනතුරද දරනු ලැබීය. හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබූ මේජර් ජෙනරාල් මල්ලවාරච්චි මහතා ඉන්දුනීසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වසර හයක් සේවය කළේය. පසුව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුර ද ඔහු විසින් දරන ලදී.

හතරවන බඳවා ගැනීමෙන් හමුදා ජිවිතයට ඇතුල්වූ ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ‘දිළිඳු බවින් තොර ශ‍්‍රී ලංකාවක්’ බිහි කිරීමේ පරමාර්ථය සාක්ෂාත් කරගනු වස්, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව ස්ථාපනය කෙරිණි. එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස වර්තමානයේ සේවය කරන්නේ, හතරවන බඳවා ගැනීමෙන් හමුදා ජිවිතයට ඇතුල්වූ මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිය.

gota2