NEWSVIDEO

අපේ රටට අයිති දේවල් එක එක අයට දෙන්නෙ නෑ…තිස්සමහාරාමයේ ඉල්මනයිට් නිධිය ඉන්දියාවට දෙන්න විමල් බෑ කියයි

කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් ඛනිජ සම්පත් ලබාගැනීමේ ව්‍යාපෘතියක් රජය යටතේ ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ යෝජනාවකට කිරින්ද ප්‍රදේශයේ පිරිසක් දැඩි විරෝධයක් එල්ලකර තිබුණි.

තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ හමුවක් කිරින්ද ප්‍රජා ශාලාවේදී අද (27) පැවැති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – චමල් රාජපක්ෂ ඇමතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා, ඔවුන් දෙපළ විශේෂ ඉල්ලීමක් කළා. ප්‍රදේශයේ ජනතාවගේ යම් යම් නොසන්සුන්තාවයක් තියෙනවා. ඒ ජනතාව සමග සාකච්ඡා කරලා මේක කරනවා නම් හොඳයි කියලා. අපි දෙගොල්ලෝම මේ සාකච්ඡාවෙදි සෑහීමකට පත්වෙනවා නම් අපි මේ කටයුතු ඉදිරියට ගෙනියමු.

ප්‍රදේශවාසීන් – සමිතියෙන් කරගෙන යන්න ද මේ අවස්ථාව දෙන්නෙ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – සේවකයෝ සමිතිය වුණත් එකයි. ගමේ මිනිස්සු එකතු වුණත් එකයි. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. 

ප්‍රදේශවාසීන් – ඉන්දියන් සමාගමක් එක්ක අපි පොඩි ගිවිසුමකට ඇවිත් තියෙනවා. ඒ ගිවිසුමෙදී ඉන්දියන් සමාගම අපිට කියනවා දවසකට වැඩ කළොත් වරුවක් වැඩ කළොත් 4000ක් අපිට දෙනවා කියලා.  එතකොට අපි මේ වැලි ගන්න යන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් ඈත කැළෑ ප්‍රදේශයක. ඒ ඉන්දියන් සමාගමත් එක්ක අපිට මේ වැඩේ කරන්න අවසර දෙනවා නම් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – දැන් මට කියන්නෙත් ඒ සමාගම වගේ ඔබතුමන්ලාව අන්දන්න කියලද? ඕවා වචන නේ. තියෙන ගිවිසුම නීත්‍යානුකූලව වලංගුද? පිටරට ඉන්න අයට මේක හූරගෙන කන්න දෙන එක නෙමෙයි අපේ යුතුකම. මෙච්ච දේවල් දෙනවා කියන්නේ ඇයි. මේක වටින නිසා.

එම අවස්ථාවට පැමිණි සිටි පිරිසක් ඇමතිවරයාගේ ඉල්ලීමට විරෝධය  පළ කරන්නට පියවරගෙන තිබුණි.

ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා පිටව ගිය පසු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේය.

(Ada Derana)