ලබන වසරේ සිට උසස් පෙළ ලියන වසරේදීම සරසවි වරම් | Mawurata.lk

ලබන වසරේ සිට උසස් පෙළ ලියන වසරේදීම සරසවි වරම්


ලබන වසරේ (2022) සිට සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

විභාග ප්‍රතිඵල දෙසැම්බර් මස නිකුත් කර ඊළඟ වසරේ ජනවාරි මාසයේ දී උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මෙහි අරමුණ වෙයි. මෙම නව යෝජනාව පිළිබඳව කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බව අප කළ විමසුමක දී අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය
දැනට දහතුන් වසරක් ක්‍රියාත්මක වන අධ්‍යාපන කාල සීමාව මෙම ක්‍රමය යටතේ වසර දොළහ දක්වා අඩු කිරීමට හැකි වන බවත් ලේකම්වරයා සඳහන් කළේය. මෙම ක්‍රමය මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කර තිබුණ ද පවතින තත්ත්වය මත එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.

එමෙන්ම නව යෝජනාවට අනුව ඊළඟ වසරේ (2022) ජනවාරි මාසයේ දී උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන් සඳහා දෙවසරකින් පසු එන ජනවාරියේදීම උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම විභාග ප්‍රතිඵල නිකුත් කර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත. එම ලකුණු අනුව එම වසරේම සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට පියවර ගැනේ. මෙහිදී නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව ලැබෙන සිසුන් වෙනුවෙන් ද ඉඩ තබා ගැනෙන බවත් ලේකම්වරයා කීවේය.

මෙවැනි පියවරක් ගැනෙන්නේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලැබීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන නිසාත් එම ප්‍රතිඵල නිකුත් වන තෙක් විශාල සිසුන් පිරිසකට නිකරුණේ කාලය ගත කිරීමට සිදුවන නිසාත් යැයි ද ඒ මහතා කිවේය.

•නිලන්ත මදුරාවල