NEWS

මොණරාගලට යාමෙන් වලකින ලෙසට උපදෙස් !

මොනරාගල නගරය ආශ්‍රිතව පවතින කොරෝනා අවදානම පාලනය කිරීම සඳහා නැවත දැනුම් දෙනතුරු නගරය තුළ සංචරණ සීමා පැනවීමට තීරණය කළ බැව් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කේ.ප්‍රගීත් කුලතිලක මහතා පැවසීය.

මොනරාගල නගරය ආශ්‍රිතව රෙදිපිළි වෙළෙඳසැල් හා බැංකු ආශ්‍රිතව සේවයකරන ලද සේවකයින් සඳහා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලට අනුව සේවකයින් 11 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බැව් අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 රෝගීන් තිදෙනෙකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලෙන් හමුවීමත් සමගම රෝහලේ 06,04,11 යන වාට්ටුවලට රෝගීන් ඇතුලත් කරගැනීම අත්හිටවූ බව සඳහන් කළ වෛද්‍ය අධිකාරී ආර්.එම් ධනපාල රත්නායක මහතා හදිසි රෝගීන් බදුල්ල මහා රෝහලට පිටත් කර යවන බව සඳහන් කළේය.

වර්තමාන තත්ත්වය පිළිබඳව මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතාගෙන් සිදුකළ විමසීමකදී අද(15) මොනරාගල නගරයෙන් කොවිඩ් -19 අසාදිතයින් 08 දෙනෙකු හමුවී ඇති අතර නගරය සහ අවට ප්‍රදේශවල ජනතාව පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 175 දෙනෙකු හමුවී ඇති අතර මොනරාගල දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 400 කි.

අත්‍යාවශ්‍ය කරුණකට හැර ගමන් කිරීමෙන් වැළකී සහයෝගය දක්වන ලෙස සියලුම ජනතාවගෙන් සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.

කේෂර ගුණතිලක (ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *