ARTICLES

තමාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා තමාම නිර්මාණය කරගනිමින් ව්‍යාපාර ලොව ජයගත් යාපනයේ දිරිමත් තරුණයෙකුගේ කතාව

සියල්ලම අතට පයට ලැබෙන තුරු බලා සිටින තරුණයින් සිටින සමාජයක තමා උගත් දෙයින් රටටද සේවයක් කොට අන් අයටද ජිවීකාව ගෙන යන්නට උපකාරී කරමින් දියුණුවෙන තරුණයෙකු පිළිබඳවයි මේ කතාව.

ව්‍යාපාරයන් යනු කොළඹට පමණක් සීමා වූවක් නොවන බව පසක් කල ඔහු බාලන්තන් ප්‍රසාත්.යාපනයේ අච්චුවේලි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පිහිටි Royal Flour Milk ආයතනයේ නිර්මාතෘ වරයාද වන මෙම දිරිය තරුණයා සැබවින්ම අන් අයටද ආදර්ශයකි.

රටට කිරි සපයන කිරි ගවයින් වෙනුවෙන් පෝෂ්‍යයදායී විශේෂිත කිරි ගව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන ඔහු ව්‍යාපාර ලොවට එක් වන්නේ තමාගේම උත්සාහයෙන් විනා පවුලේ ආභාෂයකින් නොවේ.

“මට සතුටුයි.පොඩි කාලයක් ඇතුලත මම දියුණු වුනා.අද ලංකාවේ ලොකු ලොකු කම්පැණි පවා මගේ නිෂ්පාදන අරගන්නවා.හිඟුරාන ෆාර්ම් එකත් මගේ නිෂ්පාදන ලබා ගන්නවා.කොළඹ,නුවර එළිය,මාතලේ,පුත්තලමය සහ යාපනය යන ප්‍රදේශවලට වගේම ලංකාවේ සෙසු ප්‍රදේශවලටත් මගේ නිෂ්පාදන බෙදා හරිනවා.

අප පෙර සඳහන් කල පරිදි ඔහු ව්‍යාපාරයන්ට අත් පොත තබන්නට පෙර ඒ ගැන ගැඹුරින් හැදෑරීමක් කලේය.ඇතැම් විටෙක ඔහුගේ දියුණුවට ප්‍රධානතම හේතුවද එයම වන්නට ඇත.

“මම කලින් ජොබ් එක කරේ බැංකුවේ.මේ විෂය ගැන මම චීනයේ ගිහිල්ලා යම් දැනුමක් ලබා ගත්තා.යන්ත්‍ර සූත්‍ර ගැන,මේ තාක්ෂණය ගැන ඒ අවබෝධය ඇතුව තමයි මම මේ වැඩේ පටන් ගත්තේ.මට ඕනේ නම් මේ යන්ත්‍ර සේරම පිට රටින් ගෙන්වන්න තිබුනා.ඒත් මම හිතුවා මොකටද එහෙම කරන්නේ කියලා.අපේ රටට ගැලපෙන විදිහට අපි මේ යන්ත්‍ර හැදුවා.යාපනයේම ඉන්න ලක්ෂ්මන් තමයි මේ වැඩේදී මට උදව්වට හිටියේ.

පියවරක් ඉදිරියට තබන්නට නම් යම් අවදානමක් ගත යුතුය.යමෙකුට වරදින්නේද ,එය නිවැරදි කරගත හැක්කේද එවිටය.

“මන් හිතුවා මම ඕන අභියෝගයකට මුහුණ දෙනවා කියලා.මගේ හිතේ තිබ්බ ඒ ආත්ම විශ්වාසය තමයි මාව මේ තරම් දුරකට අරගෙන ආවේ “

ඇතැම් අවස්ථාවලදී මූල්‍ය සහනයක් නොතිබුනු විට ඔහු කඩා වැටුනාම නොවේ .

“මම අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඒ ගැන.මම දවසක් යාපනය සෙලාන් බැංකුවේ මැනේජර්ව ගිහිල්ලා හම්බවුනා.මම ඇත්තම කිව්වා.මට මෙහෙම උදව්වක් ඕන.ඒත් මගේ නමට එක බැංකු ගිණුමක්වත් නැහැ කියලා.ඔහු මාව විශ්වාස කලා.ඔහු කිව්ව ,අපි ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා කියලා.ඔහු හෙඩ් ඔෆිස් එක සම්බන්ධ කරගෙන මට එක දවසක් ඇතුලත උදව් කරා.මට ඔහුගේ වචනෙ ලොකු හයියක් වුනා.ඒ වගේම සෙලාන් බැංකුව එදා ඉඳලම ලබා දෙන සහයෝගය මට ලොකු ශක්තියක් “

දේශීයව සිය ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට , ඔහුට තමා තුල තිබූ හැකියාව මෙන්ම ඔහුගේ නිෂ්පාදනවල ආරක්ෂිත බව,ප්‍රමිතිය සහ ඉහළ තත්වය මෙන්ම සාධාරණ මිල ද ඉවහල් විය.

“මගේ හීන තියෙනවා.කවදාහරි දවසක මම ජාත්‍යන්තරයත් ජයගන්නවා.ISO තත්වය ලබා ගෙන කාබනිකව නිෂ්පාදනය කරන ගමන් මේ නිෂ්පාදන විදේශයකට යවන්න මම බලාපොරොත්තු වෙනවා.මම කවදා හරි ඒ හීන හැබෑ කරගන්නවා “

සිතුවිලි යථාර්තයක් බවට පත් කර ගැනීමට දිවා රෑ වෙහෙස වූ ඔහුට මෙයද බලාපොරොත්තුවක් නොවී ජයග්‍රහණයක් බවට පත් කර ගත හැකිවන බව පැහැදිලිය.

රටට අවැසි වන්නේද එවැනි දිරිමත් තරුණයින්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *