NEWS

ඉන්දියාවේ කොවිඩ් එන්නත සෙසු රටවලට දෙන විට ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට පොරොන්දු වේ

කොවිඩ් රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බවට ඉන්දීය විදේශ සබඳතා ඇමැති ආචාර්ය ජයශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පොරොන්දු වී තිබේ.

දෙදින චාරිකාවක් සඳහා දිවයිනට පැමිණ ඉන්දීය විදේශ ඇමැතිවරයා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (6 වැනිදා) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත. අනතුරුව පැවැති සාකච්ඡාවේදී කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිවරයා ඉන්දීය කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දන්වා සිටියේය. එමෙන්ම කොවිඩ් මර්දනය කිරීම සඳහා එන්නත අවශ්‍ය බවට පණිවුඩය තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි වෙත ගෙන යන බව මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් පැවැසීය. ඊයේ (6 වැනිදා) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ ශ්‍රී ලංකා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය යනු ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව ආර්ථික හා සමාජමය ගැටලුවක් බවට පත්ව ඇතැයි ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය. එම ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය. සිය කතාව අතරතුර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් පළ කළ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අභිලාශය, අයිතීන් සුරැකීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.

එසේම ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලුම ජනකොටස්වල අයිතීන් වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි උනන්දු වන බවත් මෙරට සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බවත් එම මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *