GOSSIP

“මියගිය අය දෙවියන් හමුවෙන්න යද්දි පිරිසිදුව ඉන්න ඕන.ඒ නිසයි අපි මෘත දේහ නාවන්නේ ” මාලිගාවත්ත ඉස්ලාම් සුසාන භූමියේ තොරතුරු

මම 1959 ඉඳලා මේ සුසාන භූමියේ වැඩ කරනවා. ඉස්සර නම් මාසෙකට මෘත දේහ 30-40 ක් වගේ ප්‍රමාණයක් තමයි වළදාන්න මෙහෙට ගේන්නේ. නමුත් දැන් මාසෙකට සියයකට ආසන්න ප්‍රමාණයක් මෙහෙට වළදාන්න අරන් එනවා. මීට කාලෙකට ඉස්සර ලොකු ඉඩ ප්‍රමාණයක් තිබුණා. දැන් මේ සුසාන භූමියට තියෙන්නේ අක්කර හතරක වගේ ඉඩක්. ඉතින් ඉඩ ප්‍රමාණය මදි වෙනකොට අපි පරණ සොහොන් අයින් කරනවා. ඒ සොහොන්වල තිබෙන ඇටකැබලි ආදිය වෙනම වළක් හාරලා වළ දානවා.’’

පසුගිය දිනක මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ සංචාරයක යෙදුණු අප සමග එසේ කතාබහට එක්වූයේ 80 හැවිරිදි ෆවුසිය. ඔහුට දැන් සුසාන භූමියේ නිල රාජකාරියක් නැතත් තවමත් ඔහු එහි සැරිසරයි. සැබැවින්ම හාපුරා මේ සුසාන භූමියට ගිය අපට දැනුණේ එය බවුන් වඩන යෝගියකුට කදිම වන අරණක් බවය. ඒ තරමට එහි තිබෙන්නේ නිහැඬියාවකි. වෙනත් සුසාන භූමිවලට ගිය විට අපට දැකගැනීමට ලැබෙන්නේ ගහ කොළ කපා දැමූ මුඩු බිමකි. එහෙත් මාලිගාවත්ත සුසාන භූමියේ සොඳුරු හරිත වියනක් දැකගත හැකිය. කොළඹ ගෙන්දගම් පොළොවේ මෙවැනි හරිත වියනක් තිබේ යැයි හිතීමද දුෂ්කරය. අප මාලිගාවත්ත සුසාන භූමියට ගියේ එහි ඉතිහාසය හාරා අවුස්සා දැනගැනීමටය. තවම ජීවත් වන එහි ඉපැරණි සොහොන් පල්ලා වන ෆවුසි සඳහන් කරන ආකාරයට ඉඩ ප්‍රමාණවත් නොවන විට අලුතින් රැගෙන එන මෘත දේහවලට ඉඩ ලබාදීම සඳහා කාලෙන් කාලෙට පරණ සොහොන් ඉවත් කරයි. එනිසා එහි ඉතිහාසය පිළිබඳ බොහෝ සටහන් වියැකී තිබෙන බව අප සමග සංචාරයට එක් වූ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉක්බාල් පැවැසීය.

වසර 500 ක් තරම් පැරණි ඉතිහාසයක් මේ සොහොන් බිමට තිබෙන බවද ඉක්බාල් කීවේය. එසේ වුවද ඓතිහාසික වටිනාකමක් සහිත සොහොන් ගෙවල් කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබේ. එම සොහොන් ගෙවල් අවුරුදු 200 ක් තරම් පැරණි බව කියැවේ. සැබැවින්ම මෙම සොහොන් ගෙවල් ඓතිහාසික සිහිවටන පිළිබඳ කුතුහලයක් තිබෙන කෙනෙක් නැරඹිය යුතුමය. මෙහි තිබෙන සොහොන් ගෙවල් අතරින් ලංකාවේදී මියගිය ඉන්දියානු මුස්ලිම් ජාතිකයකු වූ තාස් බාහි මවුලානාගේ සොහොන් ගෙය අපූර්ව නිර්මාණයකි. එයට ඇතුළු වූ අපට දැකගත හැකිවූයේ කුරානයේ ආගමික පාඨ හෙමි හෙමින් මුමුණමින් යම් ආකාරයක බවුන් වඩන ඉස්ලාමීය බැතිමතුන් දෙදෙනෙකි.

මාලිගාවත්තේ ඉතිහාසය සොයාගෙන යනවිට අතිශය අගනා කරුණු කීපයක් හෙළි කරගැනීමට හැකිවිය. මාලිගාවත්ත මාලිගාවත්තක් වන්නේ 1587 දී කොළඹ පෘතුගීසි බළකොටුවට පහර දුන් සීතාවක පළමු රාජසිංහ නිසාය. ඉතිහාස වාර්තාවල සඳහන් වන හැටියට සීතාවක රාජසිංහ හැටදහසක පමණ මිනිස් සේනාවක්ද, එකසිය විස්සක් පමණ යුද ඇතුන්ද අනෙක් ප්‍රහාරක බළඇණිද සමග පෘතුගීසි බළකොටුවට පහර දීමට පැමිණියේය. එසේ පැමිණි ඔහුගේ තාවකාලික මාලිගාව ඉදිවූයේ දැනට කොළඹ විද්‍යෝදය පිරිවෙන, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, මාලිගාවත්ත විද්‍යාලය පිහිටි මාලිගාකන්දේය. මාලිගාකන්ද යන නමින්ම පෙනෙන ආකාරයට රජුගේ තාවකාලික මාලිගාව පිහිටුවා තිබුණේ එහිය. එහි සිට තම සේනාවට අණ දුන් සීතාවක රාජසිංහගේ රාජකීය උයනට අයත් ප්‍රදේශය මාලිගාවත්ත නමින් ව්‍යවහාරයට පත්විය. මාලිගාවත්ත යන නමෙහි තේරුම රජුගේ උද්‍යානයට අයත් භූමි ප්‍රදේශය යන්නය.

අද මුස්ලිම් සුසාන භූමිය පිහිටුවා තිබෙන භූමිය රජුගේ උද්‍යානයට අයත් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ. ඒ අනුව රජු තම සෙන්පතියන් සමග යුද සැලසුම් සාකච්ඡා කරමින් මේ ප්‍රදේශයේ සැරිසරන්නට ඇත. එසේම රජුගේ යුද ඇතුන්ද මෙහි ගාල් කරන්නට ඇත. දැන් මාලිගාවත්ත යැයි කියූ විට අපට ඇතිවන්නේ යාන්ත්‍රික හැඟීමක් වුවද එකල මාලිගාවත්ත තුරු වදුලෙන් වැසුණු විවිධ සතා සීපාවා ගැවසුණු වනබිමක් වන්නට ඇතැයි සිතිය හැකිය. අපට එසේ සිතෙන්නේ මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමිය තුළ දැනුදු දැකිය හැකි හරිත වියන නිසාය.

මෙම සුසාන භූමියේ තිබෙන එක් සොහොන් ගෙයක් කෙතරම් පැරණි විය හැකිදැයි සිතෙන්නේ එම සොහොන් ගෙය මුදුනේ වැවී වැඩී තිබෙන තරමක් උස ගස් කොළන් දකින විටය. බොහෝ පැරණි සොහොන් ගෙවල් කැලෑ වැඩී ඇත. එසේම පැරණි සමහර සොහොන් ගෙවල්වල කදිම කැටයම් දැකිය හැකිය. එම කැටයම්වල පර්සියානු සහ අරාබි ආභාසය කදිමට මතුව තිබේ. එපමණක් නොව පැරණි සොහොන් කීපයකම අරාබි අකුරුවලින් කෙටූ පුවරු අදද දැකගත හැකිය. අපට හමුවූ සො​හොන් ගෙවල් අතරින් වර්ෂය අනුව පැරණිම එක 1889 ට අයත් එකකි. එහි පැහැදිලිව ගල් පුවරුවක වර්ෂය කොටා තිබිණි. එයට අමතරව තිබෙන්නේ දහනවවැනි සියවසේ මුලට අයත් ​සොහොන් ගෙවල්ය. ෆවුසි මුලින් සඳහන් කළ ආකාරයට ඉපැරණි සොහොන් ගෙවල් කලින් කලට සොහොන් කඩා දැමීම නිසා විනාශ වන්නට ඇත.

‘‘මේ තියෙන සොහොනුත් මෙහෙම තියෙන්නෙ ඒ මියගිය අයගෙ පවුල්වල ඥාතීන් මාසෙකට සැරයක් හෝ ඇවිල්ලා තම නෑයන්ගේ සොහොන් ළඟට ගිහින් ඒවා සුද්ධ කරලා, ආගමික වතාවත් කරන නිසයි. එහෙම ඒවා තමයි කාලයක් තියෙන්නේ. අනිත් ඒවා අපි කඩලා ඉවත් කරනවා. එහෙම නැතුව අලුත් ඒවට ඉඩක් හොයාගන්න බැහැනේ. බොරැල්ල කනත්තේ වගේ අපි මියගිය අය භූමිදානය කරපු ස්ථානය ඔප්පුවලින් පවරා දෙන්නේ නැහැ. ඒ නිසා අපට මේ සුසාන භූමියේ තියෙන සොහොන් අවශ්‍ය වෙලාවට කඩලා අලුත් ඒවට ඉඩ හොයාගන්න පුළුවන්.’’

මේ සුසාන භූමියේ සංචාරයේදී අපට මග පෙන් වූ නියෝජ්‍ය නගරාධිපති ඉක්බාල් පවසයි. ඔහු කියූ ආකාරයට අප දුටුවේ සුසාන භූමියේ එක තැනක සොහොනක් ළඟ වාඩිවී තම මළගිය ඥාතියා සිහිපත් කරන මුස්ලිම් තරුණයෙකි. එමගින් පෙනෙන්නේ මළගිය ඇත්තන් හා ගැඹුරු බැඳීමක් මුස්ලිම් අයට තිබෙන බවය. ඔවුහු නිතර සොහොන් බිමට පැමිණ තම මළගිය ඇත්තන් සිහි කරති. කුරානයේ ආගමික පාඨ කියවති. මුස්ලිම් ප්‍රජාව තම නෑයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහි වන්නේ මෙම පසුබිම නිසා බව පෙනේ.

‘‘ඇයි මුස්ලිම් අය මෘතදේහ ආදාහනයට ඔය තරම් විරුද්ධ වෙන්නේ?’’

මම අසල සිටි ඉක්බාල් මහතාගෙන් ඇසුවෙමි.

‘‘අපේ ආගමික විශ්වාසය අනුව මියගිය කෙනෙක් පැය විසි හතරක් ඇතුළත භූමිදානය කරන්න ඕනෙ. ඔහු හෝ ඇය භූමිදානය කරාම අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මියගිය කෙනාගේ උරහිස් දෙපැත්ත පරීක්ෂා කරලා ඔහු කරපු හොඳ නරක පිළිබඳ තොරතුරු ලබාගන්නා බව මුස්ලිම් අය විශ්වාස කරනවා. ඒ තොරතුරු අනුව තමයි දෙවියන් වහන්සේ මියගිය කෙනා ස්වර්ගයට හෝ අපායට යවන්නේ. තවත් දෙයක් තමයි අප විශ්වාස කරනවා මියගිය කෙනා හොඳ කෙනෙක් නම් එයා දෙවියන් ළඟට ගන්නවා කියලා. මෙන්න මේ නිසා තමයි මුස්ලිම් අය මළගිය අයගේ මෘතදේහ ආදාහනය කරනවාට එකඟ නැත්තේ. අපේ කෙනෙක් මියගියාම සුසාන භූමියට ගෙනැල්ලා ඊට වෙන්කරපු තැනක තියලා එයාගේ මෘතදේහය හොඳට නාවනවා. ඒකට හේතුව තමයි අල්ලාහ් දෙවියන් හමුවෙන්න කලින් එයා හොඳට පිරිසිදු වෙන්න ඕන’’ ඉක්බාල් කීවේය.

ඉක්බාල් මතුකළේ මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට එරෙහි වන කණ්ඩායම්වල අවධානයට ලක්විය යුතු කරුණකි. එමගින් පෙනෙන්නේ උද්ඝෝෂණ කරමින් මුස්ලිම් අයට විරෝධය දැක්වීමට වඩා ඔවුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් බවය.

ඉක්බාල් සඳහන් කළ ආකාරයට මුස්ලිම් සුසාන භූමියක මෘතදේහ සේදීම සඳහා කාන්තාවන්ට සහ පිරිමින්ට ස්ථාන දෙකක් වෙන්කර තිබේ. මුස්ලිම් සුසාන භූමියක් සම්බන්ධයෙන් දැනගත යුතුම කරුණක් නම් කිසිසේත්ම එයට ඇතුළුවීමට කාන්තාවන්ට තහනම් බවය. මාලිගාවත්ත සුසාන භූමියට ඇතුළු වන තැනම එම පණිවුඩය සඳහන් කර තිබේ.

මාලිගාවත්ත සුසාන භූමිය එක්තරා ආකාරයක අන්තර්ජාතික සොහොන් බිමකි. එයට හේතුව බොහෝ විදේශිකයන් මේ සුසාන භූමිය තුළ භූමිදානය කර තිබෙන හෙයිනි. මාලදිවයින් වැසියන් රැසකගේ මෘතදේහ මෙහි තැන්පත් කර ඇත. එම සොහොන් ගෙවල් වෙන්වූ භූමි කලාපයක ගොඩනගා ඇත. එයට අමතරව ඉන්දියානු මුස්ලිම් ජාතිකයන්ගේ සහ අරාබි ජාතිකයන්ගේ මෘතදේහද තැන්පත් කර ඇත. එමගින් පෙනෙන්නේ මාලිගාවත්ත සුසාන භූමිය තුළ ඓතිහාසික සේම මානව විද්‍යාත්මක වටිනාකමක් ඇති බවය. සුසාන භූමි මැනවින් නඩත්තු කර පවත්වා ගැනීම මුස්ලිම් ලෝකය තුළ දැකිය හැකි දෙයකි. වති අස්-සලාම් නමැති අක්කර 1485 ක් පුරා විහිදුණු ඉරාන සුසාන භූමිය තුළ මෘතදේහ මිලියන දහයක් පමණ භූමිදානය කර තිබෙන බව වාර්තාවල දැක්වේ.

වරුණ අබේසේකර

ඡායාරූප: සමන් අබේසිරිවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *