NEWS

” මැරීන් ඩ්‍රයිව් ” දින 70 ක් ඇතුලත දෙහිවල දක්වාම දීර්ඝ කිරීමේ සූදානමක්

කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාව සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා වර්තමානයේ දී දවසේ ඕනෑම කාලසීමාවක දෙහිවල ප‍්‍රදේශයේ සිට කොළඹ දක්වා දැඩි රථ වාහන තදබදයක් ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසූවේ කොල්ලූ‍පිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා දිවෙන සමුද්‍රීය මාර්ගයේ දෙහිවල පාලම (රාමක‍්‍රිෂ්ණ පාර) අසල සිට හිල් වීදිය දක්වා කි.මි 1.2ක් වන කොටසේ ඉදිකිරීම්වල ප‍්‍රගතිය සොයා බැලීම සඳහාවූ පෙරේදා (28දා)නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදීය.

මෙම සමුද්‍රීය මාර්ගය කොල්ලූ‍පිටියේ සිට දෙහිවල හිල් වීදිය දක්වා ඉදිකරයි. දැනට සමුද්‍රීය මාර්ගයේ ඉදි කර ඇති මංතීරු 2 ක් සහිත දෙහිවල පාලමේ (රාමක‍්‍රිෂ්ණ පාර අසල) පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මංතීරු 04 දක්වා පුළුල් කර ඉදිකිරීමට මේ වන විට වැඩ ආරම්භ කර ඇත. මෙම නව පාලම සඳහා රුපියල් මිලියන 228ක් වැය වේ. ඉදිකරන නව පාළමේ දිග මීටර 25කි. එහි පලල මීටර 18කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා

මෙම සමුද්‍රීය මාර්ගයේ පසුගිය යහපාලන රජයේ අවුරුදු 5 තුළ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ අපේ රජයේ අරමුණ නියමිත ප‍්‍රමිතියට අනුව කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කිරීමයි. ඒ අනුව දින 70 වැනි කාලයකදී මෙම දෙහිවල සිට හිල් වීදිය දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ පවතින රථ වාහන තදබදයට මෙම මාර්ගය ඉදිකිරීම මගින් කෙටි කාලීන පිළියම් ලැබෙනවා. මෙම මාර්ග තදබදයට ස්ථිර ස්ථිරසාර විසඳුමක් ඉදිරියේදී මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *