NEWS

“මම කැත්තෙයි කඩුවෙයි වෙනස දැනගෙන හිටියෙ නෑ “හිටපු ඇමති හලීම් පාස්කු කොමිසමේදී කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තැපැල් සහ මුස්ලිම් කටයුතු ඇමැතිවරයාව සිටි එම්.එච්.ඒ.හලීම් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (14 වැනිදා) සාක්ෂි ලබා දුන්නේය.

එකල මතභේදයට තුඩු දුන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී සොයාගන්නා ලද කඩු කිහිපයක්ද ජනාධිපති කොමිසම වෙත ගෙනැවිත් තිබෙනු දක්නට ලැබුණි.

මෙහිදී සාක්ෂිකරුගෙන් රජයේ අධිනීතිඥවරයා සාක්ෂි විමසීම ආරම්භ කළේය.

නීතිඥවරයා – හලීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට කොළඹ හොඳ මිදුලක් එහෙම තියෙන නිවසක් තියෙනවාද?

සාක්ෂිකරු – ඔව් ස්වාමිනි.

නිතිඥවරයා – දැන් ඔය නිවසේ ගෙවත්තේ තණකොළ එහෙම වැවුණාහම ඔබ සුද්ධ පවිත්‍ර කරන්නේ කෙසේද?

සාක්ෂිකරු – මම සේවකයන්ට කියලා යන්ත්‍රානුසාරයෙන් සුද්ධ කරනවා ස්වාමිනි.

නීතිඥවරයා – හරි එතකොට ඔබතුමා කඩු එහෙම දැකලා තියෙනවාද?

සාක්ෂිකරු- (මඳ සිනහාවක් සමගින් පිළිතුරු දෙයි.) ස්වාමිනි, ඔය අහන්නේ කඩුද, පිහිද ඒ උපකරණ හඳුනා ගැනීම සම්බන්ධයෙන් නම් මට ප්‍රශ්නයක් තියෙනවා.

නීතිඥවරයා – හරි ඔබතුමා ඉස්සෙල්ලාම කියන්නකෝ කඩු භාවිත කරන්නේ මොකටද?

සාක්ෂිකරු – කඩුනම් ස්වාමීනි රජ කාලේ පාවිච්චි කළේ යුද්ධ කරන්න.

නීතිඥවරයා – එහෙනම් හලීම් මහත්මයා දැන් කාලෙත් යුද්ධ කරන්න කඩු පාවිච්චි කරන්න පුළුවන් නේද? (නීතිඥවරයා මෙහි දී 2019 අප්‍රේල් මස 30 වැනි දින අද දෙරණ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශයවූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොමිසම හමුවේ විකාශනය කළේය.)

සාක්ෂිකරු – ස්වාමිනි මේ මාධ්‍ය සාකච්ඡාවේ දී මම කඩු කියන වචනය මගේ කටින් කියන්නේ නෑ. නමුත් මාධ්‍යවේදීන් කඩු හම්බවෙන්නේ කොහොමද කියලා අහපුවාම සුසානභූමි සුද්ධ කරන්න භාවිත කරන කැත්ත ගැන හිතලා පිළිතුරු දෙනවා.

සභාපති විනිසුරු-ඔබ ඔය කියන්න හදන්නේ කඩු තියාගන්න ඇත්තේ වෙන වෙන හේතුවලට කියලාද?

සාක්ෂිකරු – ස්වාමිනි මම කඩුයි, කැත්තයි කියන එකේ වෙනස දැනගෙන හිටියේ නැහැ.

සභාපති විනිසුරු – හලීම් මහත්මයා. සහරාන්ගේ මල්ලි රිල්වානුයි. ඒ කණ්ඩායමේ මිල්හානුයි කඩු විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වාගෙන ඒවා යම් පුද්ගලයෙක් මාර්ගයෙන් බේරුවල ප්‍රදේශයට යැව්වා. එතැනදී කොළඹ එක්තරා පල්ලියකට කඩු 50ක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මුස්ලිම් පල්ලියේ මව්ලවිවරයා අත්අඩංගුවට ගත්තා කියලා නොදැනද ඔබ ඔය ප්‍රකාශය කළේ?

සාක්ෂිකරු – ස්වාමිනි මම මේ පල්ලිවල කඩු තබාගෙන ඉඳලා හම්බවෙලා කියන එක ගැන සොයා බැලුවා. ව්‍යාපාර කරන්න ගෙනාපු පිහි වගයක් හම්බෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ.

නීතිඥවරයා – ඔබ තාමත් ඉන්නේ එදා මතයේමද?

සාක්ෂිකරු – මම දන්නේ නැහැ. පිටරටවල්වලින් කඩු ගෙනාවාද නැද්ද කියලා. නමුත් මම කියපු එකේ වරදක් නැහැ. කැති වගේ දේවල් පල්ලිවල තියාගෙන ඉන්නවා සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා

උපුටා ගැනිම -අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *