ARTICLES

උපාලි විජේවර්ධනගෙන් පසුව මෙරටදීම වාහනයක් නිපද වූ සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ ජීවිත කතාව

උපන් තැනින් ඉහළට විත් යමෙකු ජීවිතය ජය ගනී නම් ඔහු සැබෑම “මිනිසෙකි”.

තමාද ජීවිතය ජයගෙන තවත් සිය දහස් ගණනකට ජීව්තය ජයගන්නට මඟ පෙන්වයි නම් ඔහු ” වටිනා මිනිසෙකි”.

ඉතින් අප මේ කියන්නේ එවන් වටිනා මිනිසෙකු ගැනය.ජීවිතයේ අනේක විධ දුක් කම්කටොලු වලට මුහුණ දී දිරියෙන් ඒ සියල්ලම ජයගත් ඔහු නලින් වෙල්ගමගේ ය .

ගමින් කොළඹට පැමිණ සිය පියා ආරම්භ කල ව්‍යාපාරය ,අතු පතර විහිදුවා ව්‍යාපාර ජාලයක් බවත් පත් කල ඔහු නිසාවෙන් අදටද ජීවත් වන පවුල් ගණන සිය දහසකි.එකිනෙකට වෙනස් ව්‍යාපාර ගණනාවක සේවය කරන දහස් ගණනක් සේවකයින්ට ආදර්ශමත් නායකයෙකු වන ඔහු මිනිසත්කම පිරි ආදරණීය චරිතයක් බව ඔහු හා වචනයක් දෙකක් දොඩමලු වූ සැනින් කවරෙකුට වුවද වැටහෙනු ඇත .

යතුරු පැදියේ සිට බර වාහන දක්වා පරාසය නියෝජනය කරන මහේන්ද්‍රා සමාගම හා බැඳුණු අයිඩියල් නාමය යටතේ අයිඩියල් ෆිනෑන්ස් ආයතනය,සූර්‍ය බලයෙන් සෝලා නිපදවන අයිඩියල් ග්‍රින් ටෙක් සහ විදෙස් රටවලට භාණ්ඩ බෙදා හැරීමේ ස්කයි නෙට් ආයතනයෙහිද නිර්මාතෘ වරයා මෙන්ම සභාපතිවරයාද ඔහුය.

ඔහු සිය ගමන් මඟෙහි මතකය අවදි කලේ මෙලෙසිනි.

මගේ තාත්තා තමයි මේ ව්‍යාපාරය පොඩිවට පටන් ගත්තේ.එතුමා S.A.වෙල්ගම මැතිතුමා.ලොරි සහ ට්‍රාන්ස්පෝර්ට් සේවාවත් එක්ක ඒ නම බැඳිලා තියෙනවා.ගමෙන් කොළඹට ඇවිල්ලා තමයි ව්‍යාපාරය පටන් ගත්තේ.මම පවුලේ බාලයා.මම අනිත් අයියලටත් වඩා තාත්තට සමීප වුනා.පොඩි කාලේ ඉඳලා මගේ ජීවිතේ ගෙවුනේ එන්ජින් එක්ක..බස් එක්ක..පස්සෙ මම එංගලන්තයට යනවා.අවුරුදු 11 ක් එහෙ හිටියා.එහෙ ජොබ් එක කරන අතරෙම අයිඩියල් ප්ලාන්ටේෂන් කියලා ,1986 දී මගේම බිස්නස් එකක් මන් පටන් ගත්තා “

ඔහු ව්‍යාපාර ලොවේ අත්පොත තබන්නේ එලෙසිනි.එංගලන්තයේ සුඛෝපභෝගී වාහන වෙනත් රටවලට අපනයනය කල ඔහු වසරකදී වාහන 1000 කට ත් වඩා අපනයනය කරන මට්ටමකට සිය ව්‍යාපාරය ගෙන ආවේ තමා තුල ඇති ව්‍යාපාරික දැනුම ප්‍රයෝජනයට ගනිමිනි.

මම වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඒ බිස්න්ස් එකෙන්.2003 වගේ වෙනකල්ම ඒ ව්‍යාපාරය මම කරගෙන ආවා.මම ඊට කලින් ලංකාවට ඇවිල්ලා මෙහෙ අමතර කොටස් සම්බන්ධයෙන් සමාගමක් ආරම්භ කරනවා.ඒ අතරෙම මාසෙකට සැරයක් විතර එංගලන්තයටත් ගිහිල්ලා එහෙ වැඩත් බලනවා.පස්සේ මම 2009 දී මහේන්ද්‍ර සමාගමත් එක්ක බැඳෙනවා.ඉන් පස්සේ තමයි අයිඩියල් මෝටර්ස් හි මවු ශාකාව මම ආරම්භ කරන්නේ “

සිය පළමු ව්‍යාපාරයෙන් ලැබුනු ආදායම සුරැකිව ඉතිරි කරගන්නා ඔහු එය ප්‍රාග්ධනයක් කොටගෙන දේශීයව තම අලුත් සමාගම ආරම්භ කලේ නව ව්‍යාපාරික අවස්ථාවන් රැසක් දුටු නිසාවෙනි.ව්‍යාපාරිකයෙකු සතුව තිබිය යුතු අවදානමක් ගැනීමට සූදානම් වීම ඔහු තුලද මනාව තිබූ අතර ඔහු එය නිවැරදිව කළමණාකරනය කරගන්නට සමත් විය .

මගේ හීනයක් තිබුනා උපාලි විජේවර්ධන මහත්තයගෙන් පස්සේ ලංකාවේ අපිටම කියලා වාහනයක් හදන්න.ඇත්තටම මට ඒ හීනය හැබෑ කරගන්න පුලුවන් වුනා මහේන්ද්‍රා සමාගම ඒ වෙනුවෙන් 35% ක් ආයෝජනය කරද්දි මම ඉතිරි 65% ම ආයෝජනය කලා.මම ඉස්සර ඉඳලම ගමේ සුවඳ හොඳින් හඳුනන කෙනෙක්.ඉතින් මට මහේන්ද්‍රා වගේ වාහනයක් නිර්මාණය කරන්න පුලුවන් වුනේ ඒ නිසා “

අද වන විට මෙරට අමුද්‍රව්‍ය සහ දේශීය දැනුම යොදාගෙන සිදුකරනා වාහන එකලාස් කිරීමේ කර්මාන්ත ශාලාවක්ද ඔහු සතුව පවතී.

සැබවින්ම ඔහු වටිනා මිනිසෙකු වන්නේ ඔහු තම පුද්ගලික විහරණය පමණක් නොව රට ගැනද සිතා කටයුතු කිරීම නිසාවෙනි.

අපේ ආයතනයෙන් අලෙවි කරන සෑම වාහනයකටම අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සපයන්න අපි නිතරම කැපවෙලා ඉන්නවා.මගේ සාර්ථකත්වයේ රහසත් එයයි.ඒ වගේම මහේන්ද්‍රා සමාගමත් එක්ක එකතු වුනාට පස්සේ අපිට එයාලගෙන් තාක්ෂණික දැනුම හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුනා.ඉතින් ව්‍යාපාරිකයෙක් විදිහට අපෙන් රටටද දෙයක් වෙන්න ඕනේ.ඒ නිසා මම මේ ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන සිසුන් වෙනුවෙන් මාස 18-20 ක පාඨාමාලාවක් ආරම්භ කරා.NVQ මට්ටමේ තියෙන මේ පාඨමාලාව ආරම්භ කලේ නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා.මින් ඉගෙන ගන්න සමහර සිසුන්ට අපේ ආයතනයේම මම රැකියා අවස්ථාත් ලබා දෙනවා “

ඔහු අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන අතර් මෙරට ආර්ථිකය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමටද ඔහු මැලිවන්නේ නැත.

“මම කියන්න ඕනේ මේ ගමන මම බොහොම දුෂ්කරව ආවේ.මම බැංකු ගිණුමක් පටන් ගන්නේ 1989 අවුරුද්දෙදි.ඒ සෙලාන් බැංකුවේ.ඇත්තටම එදා ඉඳලා අද වෙනකල් ඒ අය පුද්ගලිකව පවා මට උදව් කරනවා.මගේ දියුණුවට සෙලාන් බැංකුවෙන් ලැබුනු සහයෝගය මට කොහොමත්ම අමතක කරන්න බැහැ.ඒ වගේම ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා මගෙත් එක්ක එකතු වෙනවා 2009 දි.මගේ ව්‍යාපාරයේ දියුණුවට එතුමාගෙන් ලැබුනු ව්‍යාපාරික අත්වැලත් අමතක කරන්න බැහැ “

මිනිසෙකු සාර්ථක වන්නට නම් ඔහුට දැක්මක් තිබිය යුතුමය.අයිඩියල් මෝටර්ස් නිර්මාතෘ නලින් වෙල්ගමගේ මහතා මේ තාක් ගමනක් සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ඉදිරියට පැමිණියේද එකී දැක්ම නිසාවෙනි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *