NEWS

සිරකරුවන් 24 කට වෙඩි වැදිලා..නිලධාරීන්ට ගල් මුල් ගසා පැනයන්නට උත්සාහ කර ඇති බව හෙළිවේ

හේමන්ත ලියනපතිරණ/ කමල් සුරවීර- මහනුවර

මහර බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් පැන යාමට තැත් කළ රැඳවූවන් පිරිසක් පාලනය කිරීමට ඊයේ (29 වැනිදා) පස්වරුවේ වෙඩි තැබීම සිදු වූ බව එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහිදී රැඳවූවන් හතරදෙනකු මියගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා තහවුරු කර සිටියේය.

මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලත් රැඳවූවන් විසිහතර දෙනකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

රැඳවූවන් විසින් හෙද නිලධාරියකු සහ නියාමකවරයකු ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි බව බන්ධනාගාර මූලස්ථාන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

කලහකාරී ලෙස හැසිරුණු රැඳවූවන් බන්ධනාගාර මුළුතැන්ගෙය සහ ලේඛනාගාරයට ගිනි තබා දැඩි ලෙස අලාභ හානි කර ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.

පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මහර බන්ධනාගාරයේ රැඳවූවන් 183කට කොරෝනා වයිරසය ආසාදිතව ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරුවීම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය හටගෙන තිබේ.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය පසුව කැරැල්ලක් බවට ව්‍යාප්තවී ඇත්තේ ඊයේ (29 වැනිදා) පස්වරුවේදීය.

මෙහිදී රැඳවූවන් බන්ධනාගාර නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කර ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (29 වැනිදා) සවස් වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබිණි. පසුව කැරැළි මර්දන ඒකකයද කැඳවන්නට යෙදුනේය. එමෙන්ම ඊයේ රාත්‍රිය වන විට මහර බන්ධනාගාරය තුළ හටගෙන තිබූ ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹින් ගිනි නිවන රථ 4ක් යෙදූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මීට අමතරව ගම්පහ ගිනි නිවන ඒකකයද මහර බන්ධනාගාරය වෙත කැඳවා තිබුණි. කෙසේ වෙතත් රාත්‍රි පත්‍රය මුද්‍රණය වන අවස්ථාව වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය වී තිබුණේ නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ රාත්‍රියේ රජය මගින් විශේෂ කමිටුවක්ද පත් කරන ලදී.

මේ අතර මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත්කළ රැඳවූවන් සිව්දෙනකු ද පෙරේදා (28 වැනිදා) අහසට වෙඩි තබා පාලනය කර අල්ලා ගැනීමට හැකිවූ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. රඳවා සිටි කුටියේ දොර කඩාගෙන මොවුන් එළියට පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක්ද ඊයේ (29 වැනිදා) සවස බන්ධනාගාර වහලය මත නැගී තමන් නිදහස් කරන ලෙස විරෝධතාවක නිරත වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *