NEWS

බඩුමිල ඉහල ගිය නිසා වතුකරයේ රොටී සහ වඩේ වල ප්‍රමාණය කුඩා වේ

ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන අමු ද්‍රව්‍ය රැසක මිල ඉහළ යෑම හමුවේ ආපන ශාලා හිමියන් විසින් දිනපතා පිළියෙල කරනු ලබන ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දමා එම ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණයද කුඩා කර ඇත. තිරිඟුපිටි, ගෑස්, උඳු, පොල්තෙල්, සහල් ඇතුළු තවත් ද්‍රව්‍ය කිහිපයකම මිල අධික ලෙස ඉහළ යාම ​හේතුවෙන් තම ආපන ශාලා පාඩුවට පවත්වාගෙන යන බවත්, ඒ සඳහා විකල්පයක් වශයෙන් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා රොටී, පරාටා, වඩේ, තොසේ ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක ප්‍රමාණය කුඩා කර පිළියෙල කරන බවත් හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියෝ ප්‍රකාශ කරති.

වතු ආශ්‍රිත ප්‍රදේශවල ආපනශාලාවල බහුල වශයෙන් රොටී සහ වඩේ සඳහා ​හොඳ ඉල්ලුමක් තිබෙන නිසා වැඩි වූ මිල හමුවේ පිළියෙල කරන ලද රොටීවල ඝනත්වය අඩු කිරීමටත්, වඩේවල ප්‍රමාණය කුඩා කිරීමටත් ආපනශාලා හිමියන් පියවර ගෙන ඇත.

ආපනශාලාවලින් ආහාරපාන අනුභව කිරීමට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රකාශ කරන්නේ වෙන දිනවලට එක රොටියක් ආහාරයට ගන්නා තමන්ට කුස ගින්න නිවා ගැනීම සඳහා රොටීවල ඝනත්වය අඩු කිරීම හමුවේ රොටී තුනක් අනුභව කිරීමට සිදුවී ඇති බවයි.