NEWS

අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා වැඩි කල යුතුයි – බස් හිමියන්

පසුගියදා කොළඹ විජේරාම මාවතේ පිහිටි අප කාර්යලයට මා සොයා ආවේ එක්තරා පෞද්ගලික බස් සංගමයක ප්‍රධාන ලේකම්වරයකි. ඔහු ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දීම සඳහා සකස් කරගත් ලිපියක පිටපතක් මා වෙත ගෙන ආවේ කඩා වැටී ඇති බස් කර්මාන්තය ගොඩ ගැනීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් බස් හිමියන්ට නැතැයි කියමිනි. ඔහුගේ එම ලිපිය පුරාම පෙන්වා දී තිබුණේ ආණ්ඩුවෙන් දී තිබූ ලීසිං සහනය හා මාර්ග හා ලොග් බලපත්‍ර මුදල් අයකර නොගැනීමේ සහනය හැර වෙනත් කිසිදු සහනයක් ලැබී නොමැති බවය.

මහත්තයෝ. දැන් බස් දුවන්න කියල කියනවා. ටයර් එකක් රුපියල් විසි දාහකින් වැඩි වෙලා. ඔයිල් ලීටරයක් රුපියල් හයසීයකින් වැඩි වෙලා. ඩීසල් මිලත් වැඩි වෙලා. බැටරි හත්දාහකින් ගණන් ගිහින්. මගීන් අරන් යන්නත් ඕනෑ සීට් ගා‍ණට. කොරෝනා නිසා මාස කිහිපයක් ගාල් කරල තිබුණු බස් එක එකතැන ගල් වෙලා. පාරේ බස් නැත්තේ ඒවා නඩත්තු කරන්න තරම් වත් බස් හිමියන්ට සල්ලි නැති හින්දා යැයි ඔහු කියා සිටියේය.
අන්තර් පළාත් බස් ධාවනය මාස හයකට ආසන්න කාලයක පටන් සිදුවන්නේ නැත. ඒ පළාත් අතර පැනවූ සංචරණ සීමා නිසාය. මෙරට පෞද්ගලික බස් රථ විසිඑක් දහසක් ඇත. ඒ අතරින් බස් රථ තුන්දහස් දෙසීයක් ම අන්තර් පළාත් බස් රථ වේ. සෙසු බස් රථ දහඅට දහසකට ආසන්න ප්‍රමණය පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල නියාමනය යටතේ පළාත් තුළ ධාවනය වේ.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා රට විවෘත කිරීමත් සමග පළාත් තුළ පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුවත් ප්‍රමාණවත් බස් රථ ගණනක් මේ වනවිටත් ධාවනයේ නොයෙදේ. විශේෂයෙන් බස්නාහිර පළාතේ සමස්ත පෞද්ගලික බස් රථ 6212 ක් ඇතත් මේ වන තෙක් බස් රථ 2000 ක් හෝ ධාවනය වී නැත. බස් සංගම් කියා සිටින්නේ කොවිඩ් ව්‍යාප්තියෙන් ජීවනෝපාය අහිමි වීම නිසා පෞද්ගලික බස් සේවකයන් තිස් දහසක් රැකියා හැර ගොස් වෙනත් රැකියාවලට එක්වී ඇති බවය. බස් රථ ධාවනයට යෙදවීම සඳහා සේවකයන් නොමැති බවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5600 ක් අතරින් 3300 ක්ම ධාවනය වන බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස පැවසීය. එම මණ්ඩලයේ සේවක වැටුප් ද නිසි පරිදි ගෙවා ඇත.

බස් හිමියන් සඳහන් කරන ආකාරයට සැබැවින්ම ටයර්,බැටරි සහ ඔයිල් මිල වැඩිව ඇති දැයි ව්‍යාපාරික ආයතන කිහිපයකින්ම අප විමසුවෙමු.

හොරණ දේශීය ටයර් කර්මාන්තශාලාව මගින් නිෂ්පාදනය කරන ෆෙරන්ටිනෝ ටයර් වර්ගය හා සියෙට් ටයර් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් හැත්තෑ තුන්දහසකට සහ රුපියල් හැට තුන්දහසකටය. ආනයනකරුවන්ට සීමා පනවා තිබීමෙන් වෙළෙඳපොළේ ටයර් ඇතුළු භාණ්ඩ හිඟයක් වීම නිසා අවශ්‍ය ටයර් ඇතුළු භාණ්ඩවල මිල සියයට විස්සකින් විතර ඉහළ දමා ඇතැයි එම ව්‍යාපාරිකයෝ පවසති.
රුපියල් පනස් තුන්දහසට සහ හතලිස් හත් දහසට තිබූ ටයර් වර්ග රුපියල් හැත්තෑ තුන්දහසක් සහ හැට තුන් දහසක් දක්වාත් රුපියල් 23 දහසකට තිබූ බස් බැටරි රුපියල් විසි හත් දහසකටත් රුපියල් 1300 ට තිබූ ඔයිල් ලීටරය රුපියල් 1900 දක්වාත් වැඩි වී තිබිණි. අලුත් බස් රථයක් සඳහා මසකට ඔයිල් ලීටර් 12ක් ද පැරැණි බස් රථ සඳහා ඔයිල් ලීටර් 18 ක් ද යෙදීමට බස් හිමියන්ට සිදුව ඇත.
මීට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් බස් හිමියන් වෙත ලබා දී ඇති වව්චර් කාඩ්පත මගින් භාණ්ඩයක මිල රුපියල් දෙදහස් පන්සියයකින් පමණ අඩු වේ. කෙසේ වෙතත් මෙම සහනය වෙළෙඳපොළේ ඇති භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා පමණක් ලබාදී ඇති බවත් සියලුම වර්ගයේ ටයර්, බැටරි ආදී භාණ්ඩ සඳහා මෙම සහනය දී නොමැති බවත් ව්‍යාපාරිකයෝ පවසති.

මෙම තත්ත්වය හමුවේ අසරණ තත්ත්වයට පත්ව සිටින බස් හිමිකරුවකු වන නාරාහේන්පිට ගමගේ සුමනදාස මෙසේ කීවේය.

කොරෝනා වසංගතය නිසා බස් කර්මාන්තකරුවකු විදිහට මම අන්ත අසරණ වෙලා ඉන්නේ. මට බස් 10 ක් තියෙනවා. හැබැයි අවුරුදු දෙකක් යන කල් එක බස් එකක්වත් ධාවනය කරන්න වුණේ නැහැ. මොකද ධාවනය කරන්න පුළුවන් තත්ත්වයේ බස් නැහැ. බස් රෙපයාර් කරන්න අපි ගාව සල්ලි නැහැ. එක බස් එකක් මගේ රෙපයාර් කරන්න අවම වශයෙන් ලක්ෂ හතරක් වත් ඕනෑ. මේ නිසා බස් 10 ම ගල් වෙලා තියෙනවා. මගේ බස් ධාවනය වුණේ කොළඹ මාර්ග අංක 103, 141, 144, 171 වලයි. බස් 10ක් තියෙන මම අද ත්‍රීවීල් දුවල තමයි ජීවත් වෙන්නේ. මටම මෙහෙම නම් එක බස් එකක් විතරක් තියෙන බස් හිමියන්ට කොහොම ඇතිද? මගේ 40 වසරක බස් ජීවිතයේ කටුකම කාලය තමයි මේ. අපි ආණ්ඩුවෙන් සහන ඉල්ලන්නෙ නැහැ. මොකද ආණ්ඩුවෙන් සහන ඉල්ලලා කිසිම වැඩක් නැති නිසා. අපි වැටිල ඉන්න මේ තත්වයෙන් ගොඩ එන්න නම් අවම බස් ගාස්තුව අවම වශයෙන් රුපියල් 20 ක් දක්වා හෝ වැඩි විය යුතුයි යැයිද හෙතෙම කීවේය‍
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
මෙම අධික වියදම් මැද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති හෙයින් රුපියල් 14 ට ඇති අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඇතුළු සියලුම බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුකළ යුතුව ඇති බවය. මේ වෙනුවෙන් තම සංගමය වෘත්තිය අරගලයක් ආරම්භ කර තිබෙන බවය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙසේ කීවේය.
අවම වශයෙන් බස් රථයක් නඩත්තු කිරීම සඳහා රුපියල් පනස් දහසක්වත් යනවා. ඒ වගේම ඔයිල්, ටයර්, බැටරිවල මිල සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා. මේ තත්ත්වය මැද බස් කර්මාන්තය වැටිලා තියෙන්නේ.

රෝහල්වල නම් ගහගෙන පෞද්ගලික බස් රථ 1000 ක් විතර අන්තර් පළාත් ධාවනයේ සිටිනවා. ඒ ආකාරයෙන් ධාවනය වන සමහර බස් රථවලින් මගියකුගෙන් රුපියල් 2000 – 2500 බැගින් අධික ගාස්තු අයකිරීමක් කරනවා. නිසි සැලසුමකින් තොරව ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමාවන් යෙදවීමෙන් මගී ජනතාව බරපතළ මංකොල්ලකෑමකට ලක්ව සිටිනවා.යැයිද හෙතෙම කීවේය.

මේ අතර අන්තර් පළාත් බස් ධාවනය නවතා ඇති පසුබිමක පළාත් තුළ ප්‍රමාණවත් බස් රථ ගණනක් නැති නම් ඉල්ලීම් කර අන්තර් පළාත් බස් රථ ලබා ගන්නා ලෙසට සියලුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වෙත ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයි ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේය. අපට කීමට ඇත්තේ මෙපමණය. රටේ පවතින භාණ්ඩ මිලෙන් සහ වියදම් ඉහළ යාමෙන් අවසානයේදී පීඩාවට පත්වන්නේ අහිංසක මගියා ය. ජනතාව මේ මොහොතේ පත්ව සිටින තත්ත්වය මැද එවන් බස් ගාස්තු වැඩි කිරීමක් සිදුවීම කිසිසේත්ම අනුචිතය. රජය මේ මොහොතේ දී පෞද්ගලික බස් කර්මාන්තයේ ගැටලුවලට විසඳුම් දෙනවා සේම ඒ ගැටලු මගී ජනතාවගේ කර පිට පැටවීමට ක්‍රියා නොකළ යුතුය.