GOSSIPNEWS

පිටරටට යන සල්ලි ඉතිරි කරගෙන මෙරටදිම බෙහෙත් පෙති නිපදවිය හැකි යන්ත්‍රයක් ලාංකික තරුණයෙක් හදයි

බටහිර ඖෂධ ආනයනය සඳහා පිටරටට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීම සඳහා රජයේ ​ෙසෟඛ්‍ය අංශ විසින් මෙරට ඖෂධ වර්ග නිපදවීමේ කටයුතු මේ වන විට සිදු කරන්නේය. එම කටයුතුවලට යොදා ගන්නා යන්ත්‍ර පිටරටින් ආනයනය කිරීම සඳහා වැය වන අති විශාල මුදල ඉතිරි කර ගැනීම සඳහා මාතර, වැලිගම පදිංචි තරුණයකු නවීන තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඖෂධ පෙති නිෂ්පාදන යන්ත්‍රයක් නිපදවා ඇත.

නව නිපැයුම්කරු වන්නේ කැලුම් වාදසිංහ නැමැති තරුණයෙකි. නව නිපැයුම් කෙරෙහි විශාල උනන්දුවක් දක්වන ඔහුට සිය නිපයුම් සඳහා දැනටමත් පේටන්ට් බලපත්‍ර තුනක් හිමිකර ගෙන ඇත. ඉන් එකක් ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රයකි. බැංකු සඳහා යොදා ගතහැකි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන හදිසි ආරක්ෂක සංඥා පද්ධතිය,කාලගුණික තත්ත්වයන් අනුව ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය වහල සහ සුලං බලාගාරය සඳහා ඔහුට පේටන්ට් බලපත්‍ර හිමිවී ඇත.මේ අතරින් ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය හිමිවී ඇත්තේ සුලං බලාගාරය සඳහාය. මෙම නිපැයුම ඔහු ඉදිරියේදී රටට හඳුන්වාදීමට නියමිතය. මුදල් ලිපි ලේඛන ආදියෙහි තිබිය හැකි කොවිඩ් වයිරසය පහසුවෙන් විනාශ කළ හැකි උපකරණයක්ද පසුගිය කාලයේදී ඔහු නිර්මාණය කළේය. එය හඳුන්වා ඇත්තේ “HEAT CABIN”නමිනි.

කැලුම් වාදසිංහගේ අලුත්ම නිර්මාණය වන්නේ පැරසිටමෝල් ආදී ඕනෑම ඖෂධයක් නිපදවීමට හැකි “GRAND LINE” නැමැති නිපැයුමයි. මාස හයක පමණ කාලයක් තිස්සේ කරන ලද පුළුල් අත්හදා බැලීම්වලින් අනතුරුව මෙම යන්ත්‍රය ඔහු නිපදවා ඇත. මෙහි සුවිශේෂීත්වය නම් එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමය.

ඖෂධ පෙති නිෂ්පාදනය කිරීම සඳහා මෙරටදී නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පළමු යන්ත්‍රය මෙය බව කැලුම් පවසන්නේය. මෙම නිපැයුමේ තවත් සුවිශේෂී කාරණයක් ඇත. එය නම් දේශීය ආයුර්වේද කටයුතු සඳහාද යොදා ගන්නා ඖෂධ පෙති ආදියද මෙම යන්ත්‍රයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවීමයි.

මෙම යන්ත්‍රය අඩි දෙකයි අඟල් තුනක් උසැති වන අතර, පළලද අඩි එකයි අඟල් අටක් පමණය.

ඖෂධ නිෂ්පාදන ක්‍ෂේත්‍රයට අලුතින් පිවිසීමට නියමිත නිෂ්පාදකයකු කරන ලද ඉල්ලීමකට අනුව කැලුම් මෙම යන්ත්‍රය නිපදවා ඇත. මෙම යන්ත්‍රයෙන් ඕවලාකාර හැඩයෙන් යුතු මිලි ග්‍රෑම් 1000 ත් 1200 ත් අතර බරින් යුතු ඖෂධ පෙති නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙවැනි ඕවලාකාර හැඩැති ඖෂධ පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් චීනය හෝ ඉන්දියාව ආදී විදෙස් රටකින් ආනයනය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැයවේ.

“මම කරපු සොයා බැලීම්වලදී අනාවරණය වුණා ඖෂධ පෙති නිෂ්පාදනයේදී දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයේත් මෙවැනි යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවයක් පවතින බව. ඒ අනුව බටහිර සහ දේශීය යන ඖෂධ පෙති දෙවර්ගයම මෙහි නිපදවන්න පුළුවන්. මේ යන්ත්‍රයේ උඩ කවුළුවට ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය සාන්ද්‍රණ යෙදූ පසුව ඖෂධ පෙති නිෂ්පාදනය වෙනවා.”යැයි කැලුම් පවසන්නේය.

මෙම යන්ත්‍රයෙන් පැයක කාලයකදී ඕවලාකාර හැඩයෙන් යුතු පෙති 1800 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. යන්ත්‍රයේ ධාරිතාවය තවත් ඉහළ නැංවීම මගින් පැයකදී නිෂ්පාදනය කළහැකි පෙති ප්‍රමාණය දස දහසක් පමණ දක්වා ඉහළ දැමීමේ හැකියාවද පවතී.