NEWS

වැඩට එන ගුරුවරුන්ට ත’ර්ජනය කලොත් බලාගෙනයි -ඇමති වීරසේකර

එළඹෙන 21 වැනිදා සේවයට පැමිණෙන ගුරුවරුන්ට කවුරුන් හෝ තර්ජනය කළහොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහරගම තරුණ සේවා සභාවේ ඊයේ (14වැනිදා) පැවැති කොළඹ දකුණ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 307ම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකක 97ක් ස්ථාපනය කිරීමේ අවස්ථාවේදීය.
ගුරු සේවය යනු ඉතාමත් උතුම් සේවයක් බැවින් ඔවුන්ට නිසි වැටුපක් ලැබිය යුතු බවත් එම නිසා වැටුප් විෂමතා ගැටලුව අනිවාර්යයෙන්ම විසඳිය යුතු බවත් හෙතෙම කිවේය.

මෙම වැටුප් ගැටලුව වසර 20ක් පුරාවට පවතින එකක් බැවින් මෙය යහපාලන ආණ්ඩුව කාලයේදී කතා නොකළේ ඇයි දැයි ප්‍රශ්න කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් ගුරුවරුන්ගේ ගැටලුව සාධාරණ වුවත් අසාධාරණ වුවත් ඉන් බැට කන්නේ අහිංසක දරුවන් බවද හෙතෙම කීය.

වසර දෙකක් පුරාවට දරුවන්ට පාසල් අධ්‍යාපනයක් නොමැති අතර ඇතැම් දරුවන් මේ නිසාම විශාල පීඩනයකට යට වී සියදිවි නසා ගන්නා අවස්ථාවන්ද පසුගිය දිනවලදී වාර්තා වූ බවද අමාත්‍යවරයා පැවැසීය