NEWS

ශ්‍රී ලාංකිකයෝ 63 දෙනෙක් නැවෙන් නවසීලන්තයට පනින්න හදලා

 

නීති විරෝධී ලෙස මුහුදු මගින් නවසීලන්තය බලා යාමට සූදානම්ව ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය අසල නවාතැන්පලක සිටි පුද්ගලයන් 63 දෙනකු ඊයේ (12 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රිකුණාමලය ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

මෙම 63 දෙනා සඳහා ආහාර පිසීමට කිළිනොච්චියේ සිට පැමිණ මෙම නවාතැන්පළෙහි රැඳී සිටි කාන්තාවක හා ඇගේ දරුවා ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මිනිස් ජාවාරම මෙහෙයවන ලැබූ බවට සැක කරන ලැගුම්හලේ හිමිකරුද කොටු වී ඇත. මෙම ජාවාරම පසුපස තවත් පිරිස් සිටිත්ද යන්න පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. අත්අඩංගුවට ගත් පිරිස උතුරු නැගෙනහිර පදිංචිකරුවන් වන අතර ඉන් බහුතරයක් යාපනයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් දීර්ඝ මුහුදු ගමනකට අවශ්‍ය පරිදි ඇඳුම් පැලඳුම් සීතලට ඔරොත්තු දෙන කබා ආදිය සහිත විශාල ප්‍රමාණයේ ගමන් මළු සකස් කර ගෙන තිබූ බව පොලිසිය පවසයි. නවසීන්තයට යැවීම සඳහා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 25 සිට 40 දක්වා මිල ගණන් නියම කර ඇති අතර ඔවුන්ගෙන් අත්තිකාරම් මුදල් ගත්තේද යන්න සෙවීම සඳහා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නජීම්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.