GOSSIP

කොරෝනා එන්නත ගත්තම පිරිමිකම නැතිවෙනවද ? මෙන්න උත්තරය

කන්තෝරුවේ සියලුම දෙනා සයිනොෆාම් එන්නත ගත්තද ඔහු එය නොගත්තේය. ගමේ අයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ස්පුට්නික් V එන්නත දුන්නත් එය ගැනීමත් ඔහු මග හැරියේය. තුන් හතර මාසයක් මෙසේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහුට තිබුණේ වෙනත් ඉලක්කයකි. අන්තිමේදී ඔහු හොර පාරෙන් සිය ඉලක්කය සපුරා ගත්තේ කොළඹ සිට පුත්තලමට ගොස් ෆයිසර් එන්නත විද ගැනීමෙනි. බළලා මල්ලෙන් පැන්නේ එවිටය. ඔහුට සයිනොෆාම් හා ස්පුට්නික් V එන්නත විද ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණත් එය මගහැර ෆයිසර් ගහගත්තේ යුරෝපා රටකට යන්නට නම් ෆයිසර් එන්නත අනිවාර්ය කර තිබෙන බවට ඔහු ඇසූ කතාවක් නිසාය. ඒ නිසා ඔහු කල්පනා කළේ රට පනින්නට අවස්ථාවක් ලැබුණොත් ෆයිසර් නැති නිසා එය අහිමි වීමේ අවදානමක් ඇති බැවින් කෙසේ හෝ ෆයිසර්ම විදගන්නටය.

ඒ කතා කෙසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගැනීමට තරුණ තරුණියන් දැඩි මැළිකමක් දක්වන බවය.

ලංකාවේ තරුණ තරුණියන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර අදට මාසයක් ගතවිය. දැන් දැන් සමහර එන්නත්කරණ මධ්‍යස්ථානවල දකින්නට ලැබෙන්නේ පාළු ස්වභාවයකි. තරුණ තරුණියන් එන්නත් ගන්නට එන්නේ නැති තරම්ය.

ඔක්තෝබර් හයවැනිදා ලංකාවේ තරුණ තරුණියන්ට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු වූ දිනයකි. එදින වේරහැර එන්නත්කරණ මධ්‍යස්ථානය දහවල් දෙක පමණ වනවිටත් තිබුණේ වේළි වේළීය. දහවල් දෙකට පමණ එහි ගිය අපට දැක ගැනීමට ලැබුණේ මුළු එන්නත්කරණ මධ්‍යස්ථානයටම සිටියේ සිය දෙවැනි එන්නත් මාත්‍රාව ගැනීමට පැමිණි විස්සකටත් අඩු තරුණ පිරිසක් බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තරුණියන්ය. දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් පමණක් තරුණයෝ වූහ. මෙහි පමණක් නොව, සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකම අද පැවති තත්ත්වයත් ඊට බොහෝ සෙයින් සමානය.

කෙසේ වෙතත් මෙසේ එන්නත්කරණය මගහරින බොහෝ තරුණ තරුණියන්ගේ ප්‍රධානම ගැටලුව වූයේ විදෙස්ගත වීමකදී එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවේය කියාය. දැනට ලංකාවේ අවුරුදු විස්සත් විසි නවයත් අතර තරුණ ප්‍රජාවට දෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. නමුත් කලින් ප්‍රකාශ කර තිබුණේ තරුණ ප්‍රජාවට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත දෙන බවයි. දැන් දැන් තරුණ තරුණියන් අතර ස්මාර්ට් ජංගම දුකථනය. ඔවුන් තොරතුරු සොයන්නේ අන්තර්ජාලයෙනි. එහි හොඳම එන්නත ලෙස කියැවෙන්නේ ෆයිසර්ය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන් ෆයිසර් ගහගන්නට කැමතිය.

කෙසේ නමුත් අන්තිමේදී වූයේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමය. ඒ සමගම එන්නත විද ගැනීමට කැමැත්තෙන් සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් එන්නත ගැනීම ප්‍රතික්ෂේප කළහ. මේ එන්නත විද ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ පිටුපස තවත් කතාවක් ඇත්තේය. ඒ, දැන් දැන් තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකුගේ අරමුණ වී ඇත්තේ කොහොම හරි රට පැන ගැනීමය. කාලාන්තරයක් තිස්සේ රටේ පවතින ක්‍රමය ගැන ඔවුන්ගේ සතුටක් නැත. ඉන්න හිතෙන රටක් වෙනුවට දැන් ඇත්තේ යන්න හිතෙන රටකි. මේ නිසා ඔවුන් කල්පනා කරන්නේ රට අතහැර පිටරට රැකියාවලට යන්නටය. නැතිනම් එහි පදිංචි වන්නටය. එසේ බලාපොරොත්තු තබාගෙන සිටින තරුණ තරුණියන් දැන් අනෙකුත් එන්නත් ප්‍රතික්ෂේප කරති. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියන්නේ යම් අයෙක් කුමන එන්නතක් ගෙන තිබුණද ඔහුට විදෙස්ගත වීම සඳහා ෆයිසර් ඕනෑ බව ලිඛිත සාක්ෂි ඇතිව ඉදිරිපත් කරන්නේ නම් තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් දෙන බවය. එවැනි සහතිකයක් දී තිබියදී ෆයිසර්ම ගැනීමට බලා සිටින අතර කාලයේදී ඔහු හෝ ඇය රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති බව කියන්නේය. කෙසේ නමුදු විදෙස් අධ්‍යාපනය සඳහා යාමට සිටින තරුණ තරුණියන් සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහල මගින් ෆයිසර් එන්නත දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියන්නේය. ඒ, විදෙස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆයිසර් එන්නත දීමට මීට මාස දෙකකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය නිසාය. එහෙත් එහිදීත් ෆයිසර් එන්නත කට වචනයට ලැබෙන්නේ නැත.

‘‘විදෙස් විශ්වවිද්‍යාලවලට යන්න ඉන්න අය යුද හමුදා වෙබ් අඩවියේ තියෙන ඉල්ලුම් පත පුරවලා අපිට එවන්න ඕනේ. ඊට පස්සේ අපි ඔබට පැමිණිය යුතු වේලාවක් සහ දිනයක් දෙනවා. එවිට ඔබ විදෙස් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් කියලා තහවුරු කරන ලිපිලේඛන, විදෙස් ගමන් බලපත්‍රය, වීසා ඉල්ලුම් පත්‍රය යන දෑ එදිනට රැගෙන පැමිණිය යුතුයි. ඒවා තහවුරු කරගත් පසුවයි ඔබට කොවිඩ් එන්නත දෙන්නේ.’’

එසේ විදෙස් අධ්‍යාපනය ලැබීමට නියමිත සිසු සිසුවියන් විසි එක්දහස් පන්සීය පනස් දෙනකු ෆයිසර් එන්නත යුද හමුදාව මගින් දී තිබේ.

කෙසේ නමුදු යුරෝපා සංගමයේ බහුතරයක් රටවල් අනුමත කරන්නේ යුරෝපා සෞඛ්‍ය ඒජන්සිය විසින් අනුමත කරන ලද එන්නත් පමණි. ඒවා නම් ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්ය. ඒ නිසා විදෙස් අධ්‍යාපනය සඳහා පමණක් නොව, ව්‍යාපාර කටයුතු, විදෙස් සංචාර, සංදර්ශන සහ විවිධ වූ කාර්යයන් සඳහා විදෙස්ගත වීමට බලාගෙන සිටින ලාංකිකයන්ට ඇත්තේද තරුණ තරුණියන්ට ඇති ප්‍රශ්නය ය. ඒ, ඔවුන් යාමට බලාපොරොත්තු වන රටවලින් සයිනොෆාම් එන්නත තවමත් අනුමත කර නොමැති නිසාය. කැනඩාව සහ ප්‍රංශයද එරටට පැමිණෙන සංචාරකයන් හට දැනුම් දී ඇත්තේ යුරෝපා සංගමයේ අනුමැතිය ලද එන්නත් පමණක් එන්නත්කරණය කළ යුතු බවයි. එසේ නොමැති ඕනෑම පුද්ගලයකු සිය රටට නොගැනීමේ දැඩි තීරණයක ඔවුන් සිටින බව වීසා ගයිඩ් වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කරන්නේය.

විදෙස්ගත වන සියල්ලන්ටම ෆයිසර් ඕනැද. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියන්නේ මෙසේය.

‘‘මෙහෙමයි, විදෙස්ගත වෙන හැමෝටම ෆයිසර් එන්නත අනිවාර්යයි කියලා නැහැ. ඒත් කුමන හෝ රටක් ඒ රටට එන විදේශිකයන් හට ෆයිසර් එන්නත අනිවාර්ය කරලා තියෙනවා නම් අපි ඔවුන්ට සහනයක් දෙන්න කැමතියි. එහෙම අය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව එවන්න ඕනේ ඔහු යන රටේ අනිවාර්ය කර ඇති එන්නත පිළිබඳව. එවිට එය සත්‍යයක් නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඇතිව ඔවුන්ට ෆයිසර් එන්නත ගන්න පුළුවන්කම තියෙනවා.’’

මේ අතර සමහර රටවල් ඕනෑම කොවිඩ් එන්නතක් ගත් සංචාරකයන් හට සිය රට විවෘත කර ඇත්තේය. නමුත් සති දෙකක නිවෙස් නිරෝධායනය ඒ අයට අනිවාර්ය ය. මෙසේ ඕනෑම එන්නතක් ගෙන සිය රටට පැමිණෙ සංචාරකයන්ව පිළිගැනීමට නියමිතව ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ මලයාසියාව ඇතුළු රටවල් කිහිපයකි. තායිලන්තයේ නම් එක් එන්නත් මාත්‍රාවක් හෝ ගෙන ඇති අයට දින දහයක නිරෝධායන කාලයක් සිටින්නට සිදුවන්නේය.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව සයිනොෆාම් එන්නතට අනුමැතිය දී ඇත්තේ එරට අධ්‍යාපනය ලබන වැඩිම සිසුන් පිරිසක් සිටින්නේ චීන ජාතිකයන් වීම නිසාය. එපමණක් නොව, ඔස්ට්‍රේලියානු ආර්ථිකයට මසකට අවශ්‍ය ඩොලර් ට්‍රිලියන දෙකක මුදලින් වසරකට ඩොලර් බිලියන තිස්පහක ආදායමක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චීන සිසුන්ගෙන් ලැබීමත් තවත් එක් හේතුවකි.

කෙසේ වෙතත් මෙලෙස විවිධ රටවල් ඔවුන්ගේ රටට ඇතුළු වීම සඳහා ගුවන් ගමන් බලපත්‍රයට අමතරව සලකා බලනු ලබන කොවිඩ් මර්දන එන්නත් මොනවා දැයි ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇත්දැයි අපි විදේශ අමාත්‍යාංශයෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ එම රටවල්වල සෞඛ්‍ය කොන්දේසි සහ එරටට ඇතුළු වීමේදී ගත යුතු එන්නත් පිළිබඳ කොවිඩ් මර්දන මෙහෙයුම් බළකායේ ප්‍රධානී වන යුද හමුදාපතිවරයාට දී ඇති බවය. කෙසේ නමුදු එන්නත් ගැනීමට තරුණ ප්‍රජාව මැළිකමක් දක්වන තවත් ගැටලුවක් ඇත්තේය. ඒ, කොවිඩ් එන්නත ගැනීමෙන් වඳ භාවය, ලිංගික බෙලහීනතාව, ලිංගික ආකර්ෂණය නොමැති වීම සහ එන්නත් ගත් පුද්ගලයන් වසර දෙකකදී මිය යනවා යැයි පවතින මිථ්‍යා මතයන් ඔවුන්ගේ හිත්වල හොල්මන් කිරීමය. මේ කතා පැතිරෙන්නේ සමාජ මාධ්‍යවලය. එහෙත් එසේ එන්නත ගෙන ලිංගික බෙලහීනතාව ඇතිවූ අයෙක් තවමත් නැත. එය හරියට එයත් කපුටා වමනේ දැම්මා වගේ කතාවකි.

මේ කතා විශ්වාස කරන අය අතරේ නාගරික හා ගම්බද කියා වෙනසක් නැත. ඊට හොඳම කතාව කියන්නේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණිය.

‘‘අද වෙනකොට කොළඹ නගර සභාවේ පමණක් එන්නත් කළ යුතු තරුණ සංඛ්‍යාව අනූ හත්දහසක් වෙනවා. ඒත් අද වෙනතෙක් එන්නත ලබාගෙන තියෙන්නේ විසිපන් දහස් අටසීයක් වගේ ප්‍රමාණයක් විතරයි.’’

අද වනවිට ලංකාවේ වැඩිපුරම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ අවුරුදු තිහට අඩු තරුණ ප්‍රජාවෙනි. එය සියයට හැටක ප්‍රතිශතයකි. එසේ කොවිඩ් වයිරසය ආසාදනය වී පැමිණෙන තරුණ පිරිස අතර වැඩි පිරිසක් සිටින්නේ කොවිඩ් මර්දන එන්නත් නොගත් කාණ්ඩය බව විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි කියන්නේය.

එපමණක් නොව, මේ ආකාරයට තරුණ ප්‍රජාව දිගින් දිගටම එන්නත්කරණය මගහැරිය හොත් කොවිඩ් වයිරසයේ පාලනයක් රට තුළින් බලාපොරොත්තු විය නොහැකි බව වෛද්‍ය මතය වී තිබේ.

කොවිඩ් මර්දන එන්නත නොගත් තරුණයන්ට අමතක වන තවත් කතාවක් තිබේ. ඔවුන් එන්නත නොගැනීමෙන් පවුලේ ආදරණීය දෙමාපියන් ඔවුන් නිසා කොවිඩ් මාරයාට බිලි වන්නට හැකි බවය. ඒ, ඔවුන්ගේ මාපියන් එන්නත්කරණය කර ඇතත් ඔවුන්ගේ එන්නත්කරණ කර නොගත් තරුණ දරුවාට ඒ මව්පියන්ට කොවිඩ් වයිරසය ගෙන ඒමේ ඉතා වැඩි අවදානමක් තිබෙන බැවිනි. ඒ නිසා මහලු දෙමාපියන් ගැන සිතා හෝ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට උත්සුක වන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය වන වෛද්‍ය පද්මා ගුණරත්න කියන්නීය.

මේ අතර පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යූටියුබ් ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ එන්නත් සම්බන්ධයෙන් යූටියුබ් ඔස්සේ හුවමාරු වන අසත්‍ය වීඩියෝපට පිළිබඳව වහාම ක්‍රියමාර්ගයක් ගන්නා ලෙසයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යූටියුබ් ආයතනය මගින් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර අන්තර්ගත වීඩියෝපට සියල්ලම ඉවත් කිරීමට කටයුතු කළේය. එසේ ඉවත් කළ වීඩියෝපට සංඛ්‍යාව එක්ලක්ෂ තිස් දහසක් වන්නේය. එපමණක් නොව, මෙම නීතීන් තවදුරටත් දැඩි කරමින් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් අසත්‍ය වීඩියෝ එක් කරන යූටියුබ් ගිණුම් හිමියන්ගේ යූටියුබ් ගිණුම්ද අවලංගු කිරීමටත් යූටියුබ් ආයතනය සූදානමින් සිටින්නේය.

හර්ෂණී දිසානායක