GOSSIP

මහත්තයත් DIG ..නෝනත් DIG ..අරුම පුදුම DIG පවුලේ විස්තරය

ලංකා ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය වූයේ බිම්සානි ජාසිංහආරච්චිය. පොලිස් දෙපාර්තමේන්තුවේ නි​යෝජ්‍ය පොලිස්පතිවරුන් හතළිස් හය දෙනා අතරට එදා එක් වූ එකම නිලධාරිනිය වූයේ ඇයයි.

1997 වසරේ පොලිස් සේවයට එක් වී 2006 දී පොලිස් පරීක්ෂක තනතුරට පත්ව නිලධාරීන් හා උරෙනුර ගැටෙමින් සියලු තරග විභාගවලින් සමත් වුවද, සහකාර පොලිස් අධිකාරි තනතුරට යන්නට ඇයට අධිකරණයේ පිහිට පතන්නට සිදු වුණේය.

ඒ අයුරින්ම අධිකරණයේ පිහිට පතා උසස්වීම් වෙනුවෙන් සටන්කර ඉහළට ආ තවත් නිලධාරිනියක වූයේ රේණුකා ජයසුන්දරය. සහකාර පොලිස් අධිකාරි තනතුරින් පසු පොලිස් අධිකාරී තනතුර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්නටත් ඇය පෙරමුණ ගත්තාය.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම උසස්වීම් වෙනුවෙන් සටන් කළ රේණුකා ජයසුන්දර, නිශානි සෙනෙවිරත්න, පද්මිණී වීරසූරිය, දර්ශිකා කුමාරි, ඉමේෂා මුතුමාලි, මදාරා ආරියසේන, ධීමතී පෙරියප්පෙරුම හා ලංකා රාජිනි අමරසේන යන නිලධාරිනියන්ගේ නම් පොලිස් ඉතිහාස පොතේ ද ලියවුණි.

ඒ වසර විස්සකට පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට නිලධාරිනියන් අට දෙනකු ලෙස ඔවුන් උසස්වීම් ලැබීම නිසාය. එම නිලධාරිනියන් අටදෙනාට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලැබුවේ ලංකාවේ පළමු සැරයන්වරිය වූ ප්‍රමිල දිවාකර පමණි.

පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට පත් වූ නිලධාරිනියන් අට දෙනාගෙන් තිදෙනක් යළිත් මෙම සතියේ පොලිස් ඉතිහාස පොතට නම් එක් කළෝය.

ඒ ඔවුන් තිදෙනා එකම දිනයක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලබමිනි. එසේ පොලිස් ඉතිහාස පොතේ නම ලියමින් නි​යෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වූයේ නිශාන්ති සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය ය.

ඒ අනුව එතෙක් ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වෙමින් බිම්සානි ජාසිංහආරච්චි තැබූ වාර්තාව ඇගෙන් ගිළිහී ගියේය. දැන් ඇයත් සමග පොලිස් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් සිටිති..

මෙවර උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මුලින්ම සිටින්නේ නිශාන්ති සෙනෙවිරත්නය. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න ඇගේ සැමියාය. බිරිඳ හා සැමියා නියෝජ්‍ය පොලිස්පති ධුරයන් හොබවන්නේ ඉතිහාසයේ මුල්වරටය.

1988 දෙසැම්බර් 26 දා පොලිස් සේවයට එක්ව ඇති ඇය සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලබන්නේ 2008 ජනවාරි 01 දාය. ඇයට පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට ඇත්තේ 2027 ජනවාරි 04 දාය.

නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර වයස අවුරුදු 60 සපුරන්නේ තවත් වසර තුන හතරකිනි. 1997 පෙබරවාරි 15 දා ඇය උප පොලිස් පරීක්ෂකවරියක ලෙස එක් වූ අතර ඇය 1997 කණ්ඩායමට අයත් නිලධාරිනියකි.

1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට ස්ථිර සේවයට උප පොලිස් පරීක්ෂිකාවන් බඳවා ගත් පළමු කණ්ඩායමේ ඇයද සාමාජිකාවකි. සහකාර පොලිස් අධිකාරි ධුරයට ඇය උසස්වීම් ලැබුවේ 2008 ජනවාරි පළමුවැනිදාය. කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇගේ සැමියාය. රාජකාරියේදී ඔහුට සිය බිරිය මැඩම්ය.

ජයන්තා පද්මිණී වීරසූරිය මීළඟට ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින නිලධාරිනියය. ඇයද 1997 උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයට එක්ව 2008 ජනවාරි 01 දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා ඇත. ඇය වයස අවුරුදු හැට සපුරාලන්නේ 2037 මැයි 12 දාය.

මේ අනුව උසස්වීම් ලද තිදෙනාගෙන් වැඩිම කාලයක් සේවයේ රැඳී සිටීමේ අවකාශය ලැබී ඇත්තේ ඇයටය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූයේද ජයන්තා පද්මිණී වීරසූරියය.

ඇය සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසමට එක්වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ සහ පරිපාලන අංශය, පොලිස්, වෛද්‍ය කොට්ඨාසය හා පොලිස් දුක් ගැනවිලි අංශය යන අංශවලත් ලද අත්දැකීම් ඔස්සේය.

ක්‍රියාන්විත ප්‍රදේශවල පවා මෙහෙයුම්වල නිරතව සිටි ඇය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙසිනි.

යුද හමුදා නිලධාරියකු සමග විවාහ වී සිටින නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී වීරසූරිය රත්නපුර කොළොන්න මහා විද්‍යාලයෙන් සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙත් ඉගෙනුම ලැබූ ආදි සිසුවියකි.

පොලිස් සේවයේ අසූපන්දාහක් පමණ වන පිරිස් බලයෙන් කාන්තා නියෝජනය නවදහසක් පමණ වන්නේය. එවන් ගණනක් කාන්තා නියෝජනය තිබුණද නිලධාරීන් හා උරෙනුර ගැටෙමින් වැඩ කළ ද තරග විභාග සමත් වුවද මෙතෙක් කලක් නිලධාරිනියන්ට ඉහළට යන්නට මගක් තිබුණේ නැත. අධිකරණයේ පිහිට පතමින් සටන් කරන්නට ඔවුන්ට සිදු වූයේ ඒ නිසාය. කෙසේ වුවද දැන් නියෝජ්‍ය පොලිස්පතිවරියෝ සිව් දෙනෙක් දැන් ඉහළ පුටුවල රැඳී සිටිති.

තමන්ට පැවරෙන රාජකාරි හැම එකක්ම පිරිමි නිලධාරින් හා සමානව කරන්නට හැකියාව තිබියදී ස්ත්‍රී පුරුෂ භේදය ඉදිරියට දමා උසස්වීම් දීමේදී වෙනස්කම් කළ බවත්, අවසානයේ උසස්වීම්වලදී සිදුවුණු අසාධාරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ද යන්නට සිදු වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හා පොලිස් කොමිසම නිසා අද මෙම ඉහළ තනතුරුවලට යන්න හැකිවූ බව ඔවුහු පෙන්වා දෙති.