NEWS

ඔය කියන ව්‍යාපාර අපි කරේ රාජපක්ෂවරු බලයට එන්න කලින්

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ ගනුදෙනු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට විමර්ශන නිලධාරීන් පස්දෙනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත්කර ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කළ වත්කම්වල නම් සඳහන් වූ සියලුම ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අල්ලස් කොමිසම වෙත් ඊයේ (06 වැනිදා) උදෑසන උපදෙස් දී තිබිණි.

පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම් සඳහන් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය ඇමැති නිරූපමා රාජපක්ෂගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේෂන් ජනාධිපතිවරයා වෙත ඊයේ (06 වැනිදා) ලිපියක්ද යොමුකර තිබිණි.

මෙම පැන්ඩෝරා පත්‍රිකාවල සැඟවුණු ගිණුම් සහ වත්කම් ඇති බවට තමන්ගේ සහ තම බිරිඳගේ නම් සඳහන්ව ඇති නමුත් තමා සහ තම බිරිඳ නිර්දෝශී බවද ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන්, ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව තමාගේ සහ තම බිරිඳගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා ස්වාධීන විමර්ශකයකු යටතේ කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම වඩාත් සුදුසු බවත් තිරුකුමාර් නඩේෂන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම ව්‍යාපාර කටයුතු සිදුවූයේ රාජපක්ෂවරුන් බලයට පැමිණීමට පෙර බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් ‘අරුණ’ කළ විමසුමකදී පැවසීය. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයා අල්ලස් කොමිසම වෙත උපදෙස් ලබාදීමෙන් අනතුරුව එම විමර්ශනය සඳහා විශේෂ නිලධාරී කණ්ඩායම ඊයේ (06 වැනිදා) උදෑසනම පත්කළ බව අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා ‘අරුණ’ ට පැවසුවාය.

අල්ලස් කොමිසමේ තීරණය පරිදි ඊට අදාළ විමර්ශන කටයුතු ඊයේ (06 වැනිදා) ආරම්භ කළ බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතාන ‘අරුණ’ ට පැවසීය.

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නියෝජ්‍ය ඇමැති නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට අල්ලස් කොමිසම හමුවේ හෙට (08 වැනිදා) දින පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර ඇතැයි ද එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා සඳහන් කළාය.

උපුටා ගැනීම -අරුණ