GOSSIP

කොරෝනාවට මුවා වී බිරිය මරා අලුත් මඟුලක් කන්න හැදූ සැමියා

‌බොරලැස්ගමුවට පසුගිය 15 වැනි බදාදා සවස් යාමයේ අහස් ගැබ සිසාරා පැතිර තිබූ වැහි වලාකුළු නිසාම නලීන් ප්‍රියන්ත ඔවුන් විසූ එගොඩවත්ත පාරේ නිවසේ දොර ජනෙල් හනි හනික වසා දැමූවේ කොයිමොහොතේ හෝ මොරසූරන වැස්සක් පතිත වන බව හොඳාකාරවම දන්නා නිසාය. ‘‘තාත්තේ බඩගිනියි’’ දරු පැටවුන් දෙදෙනා කිහිප විටක්ම පැවසීම නිසා එදින රාත්‍රී ආහාරය ද විගස සූදානම් කර ඔවුන්ගේ කුසගින්න සන්සිඳ වීය. ඔහුට මේ සියල්ල තනිව කිරීමට සිදුවී ඇත්තේ සිය බිරිඳ ‘‘කලණි’’ කොවිඩ් රෝගයට ගොදුරුව මේ වන විට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින නිසාය. සෞඛ්‍ය හා වෛද්‍ය උපදෙස් පරිදි ඇයට වෙහෙසීමට හොඳ නැත. එහෙයින් මේ දිනවල ඇයගේ ආවතේව කරන්නේ ඔහුගේ අතිනි. කලණි මාපලගමගේ වයස අවුරුදු හතළිස් පහකි. නලීන් හතළිස් හත් හැවිරිදිය. වීවාහ වී වසර කිහිපයක්ම ගතවන අතරේ ඔවුන්ගේ කැදැල්ලට සුරතල් පුතෙකුත් දියණියකුත් එකතු විය. වාහන අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන ගිය රුවන්ට එකල කලණිත් දරු දෙදෙනාත් බිරියත් නැතුවම බැරි විය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වෙද්දී නලීන් සහ කලණිගේ සෙනෙහසට හෙණහුරා පහත්විය. මුලදී වචනයක් දෙකක් කියා ගත්තත් පසුව ඇතැම් දිනවල අඩ දබර දක්වා ඒවා වර්ධනය විය. කලණි මේ සියල්ල ඉවසා ගත්තේ සිය දරු දෙදෙනා ගැන සිතමිණි. නිවසේ කෙතරම් ගැටුම් තිබුණත් ඒවා සියල්ල නිවසින් පිට කිසිවෙකුටත් නොහැඟෙන පරිදි හැසිරීමට දෙදෙනාම වග බලා ගත්තෝය. එනිසාම ගමේ කාටත් මේ දෙදෙනා සෙනෙහසින් පිරි පවුලක් විය.

පසුගිය බදාදා රාත්‍රියේ 10ට පමණ කලණිගේ වැඩිමහල් සොහොයුරාට රුවන්ගෙන් ඇමතුමක් ලැබිණි . “කලණි කොවිඩ් නිසා මේ දැන් නැති වුණා. අනේ ඉක්මනින්ම අපේ ගෙදර එන්න.” සිය නැගණියගේ වියෝව දරාගත නොහැකි වූ ඇගේ සොහොයුරා එගොඩවත්ත පාරට ආවා නොව ඉගිලුණේය. “බල බලා ඉන්න බෑ. අපි යං ඉස්පිරිතාලෙට” දෙදෙනාම කතිකා කර ගත්තෝය. රුවන් සමග එක්ව එසැනින් සිය සොහොයුරිය ඔසවා ගත් ඔහු නිවසේ වූ මෝටර් රථයෙන්ම දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ගියහ.

රෝහල වෙත ගෙන ආ කලණිට වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් හනි හනික පරීක්ෂාවට ලක් කෙරිණ. ඇයට කළ හැකි සියලු මූලික ප්‍රතිකාර දුන්නත් කලණි යළි දෑස් හැරියේ නැත. නලීන් ආයාසයෙන් බිරියගේ වියෝව විඳ දරා ගනිමින් අසල වූ බංකුවක් මත් හිඳ ගත්තේය. වේදනාවෙන් සිටින මස්සිනා අස්වැසීමට කලණිගේ සොහොයුරා මහත් වෙහෙසක් ඒ මොහොතේ දැරීය.

රෝහල් කාර්ය මණ්ඩලය පැවසුවේ මියගිය කලණිට යළි පීසීආර් පරීක්ෂණයක් කළ යුතු බවය. වෛද්‍ය වාර්තාවෙන් යළිත් සනාථ වූයේ කලණිට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවකි. එහෙයින් දේහය හැකි ඉක්මනින් අවසන් කටයුතු කළ යුතු බැවින් ඔවුහු නැවත නිවෙසට ගියේ ඒ වෙනුවෙන් ඉදිරි වැඩකටයුතු කරන්නටය.

මේ අතරේ කලණිගේ සොහොයුරාට නලීන්ගේ හැසිරීමේ යම් අමුත්තක් දැනිණ. සෑම අවස්ථාවකදීම නලීන් සිය කමිස කොළරය උස් කරනු ඔහුට පෙනිණ. දැඩි විමසිල්ලෙන් සිටි ඔහුට කිහිප විටෙකදී නලීන්ගේ කමිස කොළරය එහෙ මෙහෙ වන විට ඔහුගේ බෙල්ලේ වූ යම් සීරීම් සලකුණක් නිරීක්ෂණය විය.

කලණිගේ සොහොයුරා යළි ඔහුගේ නිවසට යෑමට නංගි විසූ නිවසින් පිටත් වූවත් මස්සිනාගේ හෑසිරීම සහ ඔහුගේ බෙල්ලේ තිබූ සීරීම් සලකුණ පිළිබඳව ඔහුට විශාල ගැටලුවක් විය. නිවසට ගොස් පසුදාත් ඔහු ඒ ගැනම සිතුවේය. 17 වැනිදා හිතේ වූ දෙගිඩියාව නිසාම ඔහු කෙළින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත ගියේය. එහි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන් හමුවේ තම සිතේ වූ සැකය කීවේය.

වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වහා සිය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ වෙත සිදුවීම දැනුම් දුන්නේය. කලණිගේ සොහොයුරාගේ පැමිණිල්ල පොලිස් පොතේ ලියවිණි. පරීක්ෂණ ආරම්භ කෙරිණි.

අධිකරණ නියෝග මත කලණිගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල ශික්ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්.එම්. සම්පත් සේනතුංග නිගමනය කළේ මෙම මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීනේ හුස්ම ගැනීමේ අපහසුතාව මත සිදුව ඇති බවය. කලණිට කොවිඩ් වැලඳී තිබණ ද ඇය මියගොස් ඇත්තේ එම රෝගයෙන් නොව කිසිවෙකු ඇගේ හුස්ම හිරකරය. එය ස්වාභාවික මරණයක් නොව ඝාතනයකි.

සියලු කරුණු අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය. නලීන්ට බොරලැස්ගමුව පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පණිවිඩයක් යැවිණ. පොලිසියට පැමිණි ඔහුගෙන් සහ දරුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඒ මොහොතේත් කලණි මියයෑම නිසා නලීන් දැඩි කම්පනයකින් සිටි බවක් පෙන්නුම් කෙරිණි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුහු යළි නිවෙස වෙත ගියහ. වසර ගණනාවක මෙවැනි සිදුවීම් පිළිබඳව අත්දැකීම් ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රුවන්ගේ ප්‍රකාශය එක් වරම පිළිගන්නට මැළිකමක් දැක්වීය. කලණිගේ හුස්ම හිර කළේ ගෙදරදීය. එය ඇගේ සැමියා නොදැන සිටීමට නොහැකිය. හැරැත් නලීන්ගේ ගෙලේ සීරීම් ලකුණකි. ඔහු කලණිගේ හුස්ම හිරකරන විට ඇය දිවි බේරා ගැනීමට දැඟලීමේදී නලීන්ගේ ගෙල හීරෙන්නට ඇති බව පොලිසියට පැහැදිලිය. එහෙයින් රුවන් යළිත් පසු දිනම පොලිසිය වෙත කැඳවීය.

දෙවෙනි වර පොලිසියට පැමිණි නලීන්ගෙන් යළිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ඇරඹිණ. එවර තවදුරටත් සිදුවීම වසන් කිරීමේ හැකියාවක් ඔහුට නොවිණ. ඔහු ඇත්ත කීවේය. නලීන් පොලිසියට දුන් කටඋත්තරය අනුව ඔහුගේ සිත ඒ වන විටත් තවත් කාන්තාවක් වෙත ඇදී ගොස් තිබිණි. එම අසම්මත ප්‍රේමය නලීන් – කලණි යුග දිවියට බාදා කළේය. එනිසාම කලණිගෙන් වෙන්ව නව ප්‍රේමය තමන් වෙත ළං කර ගැනීමට නලීන් උත්සාහ කළේය. ඒ සඳහා රුවන් තීරණයකට එළඹෙන්නට විය. කලණි කොවිඩ් වැලඳී රෝගීව සිටීම ඊට හොඳම මොහොත බව ඔහු සිතන්නට ඇත. එනිසාම දින කිහිපයකට පෙර ප්‍රදේශයේ අවමංගල සේවා සපයන ස්ථානයකට ඔහුම ගොස් අවමංගල්‍යයක් වෙනුවෙන් මුදල් ද ගෙවා නිම කළේය. 15 වැනිදා නලින් කලණි සමග යම් ආරවුලක් ඇති කරගත්තේය. එදින එහි අවසානය වූයේ කලණිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමය. නලින්ට අවශ්‍ය වූයේ මෙම මරණය කොවිඩ් වයිරසය හේතුවෙන් සිදු වූවක් බව සමාජයට ඒත්තු ගැන්වීමටය. එහෙත් කලණිගේ පශ්චාත් මරණ පරීක්ෂණය සදාකාලිකව වැළලී යන්නට තිබූ මිනීමැරුමක් හෙළි කළේය.

දෙතුන් සතියකට පෙර මෙවැනි ඝාතනයක් රත්නපුරේ දොඩම්පෙ ගමේත් සිදුවිය. බිරියගේ අනියම් පෙම නිසා එහිදී දිවි නැති වූයේ සැමියාගේය. බිරිය සිය අනියම් සැමියා සමග එකතු වී සැමියාගේ හුස්ම හිරකර මරා දමා එය කොවිඩ් නිසා වූ මරණයක් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළාය. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බව හෙළිවිය. එබැවින් අපරාධකරුවන් කෙතරම් සූක්ෂම අයුරින් ඝාතන කළද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සියලු බොරු හෙළි වන බව නලින්ට තේරුම් ගියේ නම් ඔහුට මහඋළු ගෙදර කූරු ගණින්නට සිද්ධ වෙන්නේ නැත.

දිනේෂ් රූපසිංහ – පිළියන්දල