GOSSIP

ඇමති බැසිල්ගේ විරෝධය නිසා කැබිනට් සංශෝධනය නැවතී..තිරය පිටුපස කතාව මෙන්න

ආණ්ඩුවේ කැබිනට් සංශෝධනයක් සිදුවෙතැයි පසුගිය සඳුදා (9) බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටියහ. ඊට හේතුව වූයේ සති අන්තයේ ගලා ආ දේශපාලන ආරංචිය. එහෙත් කිසිවක් සිදු නොවුණි. සාමාන්‍ය පරිදි සඳුදා දිනය ගෙවීයේය. සිදුවූයේ කුමක්ද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් විය. සැබවින්ම සඳුදා කැබිනට් සංශෝධනයකට සියලු කටයුතු සූදානම් වී තිබුණි. එහෙත් එය අතරමග නතර වීමට හේතුව වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු මෙම සංශෝධනය සම්බන්ධව එතරම් කැමැත්තක් නොදැක්වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

පවතින සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වය සංශෝධනයට අකමැති වීමට හේතුව බව ඔහු කියා තිබුණි. එසේම ආණ්ඩුවට තවමත් අවුරුද්දක්වත් පිරී නොමැති බවත් මේ මොහොතේ කැබිනට් සංශෝධනයක් සිදුකර පිරිසක් අමනාප කර ගතයුතු නැති බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේය. ඒ අනුව සඳුදාට නියමිතව පැවති කැබිනට් සංශෝධනය කල්යෑමට බලපෑ ප්‍රධානම සාධකය බැසිල් රාජපක්ෂ මහතා බව තහවුරු විය.

කෙසේ වෙතත් කැබිනට් සංශෝධනයේදී මාරුවන මැති ඇමතිකම් පිළිබඳ කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනකුට යම් අවබෝධයක් තිබුණි. එම නිසාම තිරය පිටුපස කතා බොහෝ විය. විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා හට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලබාදීමට යන බවට කල් ඇතිවම දැනගන්නට ලැබුණි. එම මාරුව පිළිබඳ ඇමැති ඩලස් සිටියේ එතරම් කැමැත්තෙන් නොවේ. එම නිසාම තමා ජනමාධ්‍ය විෂය භාර ගැනීමට එතරම් සතුටු නොවන බව ඔහු පණිවිඩකරුවකු මාර්ගයෙන් ජනපතිට දන්වා තිබිණි. එයා මාධ්‍යකරුවෙක් ඒ නිසා ගැලපෙන්නේ ජනමාධ්‍ය විෂය තමා. ඒ නිසා ඒ තනතුර භාරගන්න කියන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය එය විය. මෙහි පණිවිඩකරුගේ භූමිකාව සිදුකරනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාය. ජනාධිපතිවරයා ගෙවුණු සතිය වනවිට සැලකිය යුතු ලෙස පිටස්තර පුද්ගලයන් හමුවීමද සීමාකර තිබුණි.

මේ අතර අතර විදේශ අමාත්‍යාංශය සම්බන්ධවද කැබිනට් සංශෝධන සැලැස්මේදී යම් ගැටලු ඇති විය. ඊට හේතුව වූයේ ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රුස්වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේ අපේක්ෂාවෙන් සිටියේය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණි. එංගලන්ත හරහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරීම මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ සැලසුම විය.

මෙම කටයුත්තේ වැඩි වගකීමක් විදේශ කටයුතු අමාත්‍යාංශට සේම අමාත්‍යවරයාට පැවරී තිබුණි. තවත් පසෙකින් විදේශ අමාත්‍යවරයාද මේ ගමනට සහභාගී විය යුතු විය. ඒ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යම් වෙනසක් සිදුකිරීම මේ මොහොතේ සුදුසු නොවන බව ජනපතිට අවබෝධ වූයේය. අමාත්‍යවරයා වෙනස් වුවහොත් අමාත්‍යාංශය නැවත ප්‍රතිස්ථාපනය වීමට සාමාන්‍යයෙන් කලක් ගතවෙන බව ජනපති දැන සිටියේය. ඒ අනුව නිව් යෝර්ක් සංචාරයෙන් පසු මෙම සංශෝධනය පිළිබඳ සිතා බැලීමට තීරණය විය.

කෙසේ නමුත් දේශපාලන ආරංචි අනුව නව විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස යෝජනා වී තිබුණේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නමයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලබාදීමට සැලසුම් කොට තිබුණි. එසේම පෙරකී ලෙසම ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට නියමිතව තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රසන්න රණතුංග මහතා හටත්, රමේෂ් පතිරණ මහතා හට සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හට විදුලිබල අමාත්‍යාංශයත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ලබාදීමට නියමිතව තිබුණි. සංචාරක අමාත්‍යාංශය දැනට සිටින අමාත්‍යවරයකු යටතට පත්කිරීමටත් නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ විෂය සංශෝධනයක් සිදුකිරීමටත් නියමිත බව කියැවුණි