NEWS

එන්නත ලබාගැනීමෙන් දරුවන් පිළිසිඳ ගැනීමට ගැටලුවක් නෑ

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවට කිසිඳු ගැටලුවක් නොවන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පැවැසීය. ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍යවරයාද මේ බව සඳහන් කරමින් කියා සිටියේ තරුණ කාන්තාවන්ටද එන්නත ලබාගැනීමෙන් කිසිඳු සංකූලතා මතු නොවන බවය.

එසේම ගර්භණී කාන්තාවන්ට පිටගැස්ම එන්නත සහ කොවිඩ් මර්දන එන්නත එකවර ලබාගැනීමේදී ද කිසිඳු ගැටලුවක් මතු නොවන බවත් එම එන්නත් දෙකම ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

මේ වන විට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති මව්වරු බිහිකළ දරුවන්ට සහ එම මව්වරුන්ට කිසිඳු සංකූලතාවයක් වාර්තා වී නොමැති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මෙහිදී අවධාරණය කළේය.

එම නිසා සියලු ගැබිනි කාන්තාවන් පළමු මාස තුන ඇතුළත මෙම කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පැවැසීය.