NEWS

කොරෝනා බළකාය විසුරුවා හරින්න – මර්දන වැඩපිළිවෙළ අපිට භාර දෙන්න

කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැර රටේ කොරෝනා මර්දනය කිරීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශයට භාර දෙන ලෙස රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

ඊයේ (09 වැනිදා) කොළඹදී පැවති මාධය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙම කොරෝනා කාර්ය සාධක බලකාය අසාර්ථක බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

එසේම විදේශීය ආයතන තවත් සති දෙකකින් මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයන් දෙදහසක් පමණ මිය යා හැකි බවට අනාවැකි පළ කළද ආණ්ඩුව කොවිඩ් පාලනය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළේය.

ලෙඩ්ඩු සොයා නොගත යුතුයි යන තැන සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය. එම නිසා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම අඩුකර ඇති බවද සභාපතිවරයා කීය.

විශේෂඥ වෛද්‍යවරුන්ට නිවෙස් නිරෝධායනයේ සිටින පුද්ගලයන් ගෙයින් ගෙට ගොස් ප්‍රතිකාර කිරීමට වැඩපිළිවෙළ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව ඔහු අවධාරණය කරයි.

එසේම කොවිඩ් ආසාදිතයන්ට ලබාදීම සඳහා වැඩිපුර දැඩි සත්කාර ඒකකවල ඇඳන් වෙන් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය. මේ වන විට කොළඹ රෝහල්වල මෘත ශරීරාගාරවල මෘත දේහ ගොඩගැසී ඇත්තේ ආදාහනාගාර නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. පැය 24 පුරාම ආදාහනාගාර විවෘත කිරීමේ ක්‍රමවේදයක් කොළඹ නොමැති බවද ඔහු පැවසීය.

මෙම පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ‍සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට භාරදෙන්නේ නම් පැය දෙකක් ඇතුළත ලක්ෂයකට එන්නත් ලබා දීමට ඔවුන්ට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙම පවතින තත්ත්වය පාලනය කිරීමට නම් රට සතියක පමණ කාලයක් සැලසුම්කර වසා දැමිය යුතු බව ඔහු මෙහිදී කියා සිටියේය.