NEWS

එන්නත නොගත් අයට බස්-දුම්රියෙන් පළාත් අතර යාම තහනම්

එන්නත් මාත්‍රා දෙකෙන් එකක් හෝ ලබා නොගත් අයට පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීම තහනම් කිරීමේ නීති කඩිනමින් ගෙන එන බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ ‘අරුණ’ට ඊයේ (08 වැනිදා) පැවසුවේය.

ඒ අනුව දුම්රියෙන් හෝ බස්රථවලින් පළාත් අතර සංචරණය කිරීමේදී එන්නත් කාඩ්පත සන්තකයේ තබාගත යුතු බව අවධාරණය කළ ඇමැතිවරයා දෙවැනි අදියර ලෙස පළාත තුළ පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදීද මෙම නීතිය ක්‍රියාවට නංවන බව කීවේය.

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණවලින් සියයට අනූවක්ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් බවත්, ඒ හේතුවෙන් එන්නත් කරගත් මගීන්ට පමණක් පොදු ප්‍රවාහන පහසුකම් ලබා දීමට අවධානය යොමු කරන බවත්, එන්නත් ලබාගෙන ඇතැයි සනාථ කෙරෙන කාඩ්පත සන්තකයේ තබා ගැනීම මගීන්ට අනිවාර්යය වන බවත් ඇමැතිවරයා කීවේය.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකයන් වෙනුවෙන් සීමා සහිත අවසරය මත ක්‍රියාත්මක කර ඇති අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය නැවැත්වීමට කිසිදු තීරණයක් මේ තාක් ගෙන නැතැයිද එම මගීන් සේවා හඳුනුම්පත හෝ ආයතන ප්‍රධානියාගේ ලිපිය සන්තකයේ තබා ගැනීම අනිවාර්යය බවද ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව අන්තර් පළාත් බස් රථවල ගමන් කරන මගීන් අහඹු ලෙස හෝ පරීක්ෂා කරන ලෙසත්, අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට ගමන් කරන මගීන්ට ගමන් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙසත් ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව මගීන් ප්‍රවාහනය කරන බස් රථ සම්බන්ධයෙන් සහ එම උපදෙස් කඩකරමින් බස් රථවල ගමන් කරන මගීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.