NEWS

16 හැවිරිදි සේවිකාව මිය යාමේ සිද්ධියට බදුර්දින්ට එරෙහිව නඩු පැවරීමට යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි දහසය හැවිරිදි සේවිකාව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහිව නඩු පැවරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඇයගේ දෙමවුපියන් දැරිය සේවයට එවා ඇත්තේ ණය මුදලකට හිලව් කිරීමක් වශයෙන් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඒ අනුව දැරිය විකිණීමට අනුබල දීමේ හා දැරිය නිවසේ අනාරක්ෂිත ලෙස රඳවා තබා ගැනීම යන චෝදනා යටතේ මන්ත‍්‍රිීවරයාට එරෙහිව නඩු පැවරීමට නීතිමය ප‍්‍රතිපාදන පවතින බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්‍රකාශ කර සිටියේ.

ඒ සඳහා තහවුරු කළ හැකි කරුණු පවතින බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීහු පොලිසිය සමග මන්ත‍්‍රීවරයාගේ නිවසට ඊයේ ගොස් පරීක්ෂා කර තිබෙනවා. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එම නිවසට පිටින් පිහිටි කුඩා කාමරයක දැරිය රඳවා සිට ඇති බව මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ණය මුදලකට හිලව් වීමට මෙම දැරිය මන්ත‍්‍රීවරයාගේ නිවසට එවා තිබූ බවට ජාතික ළමාරක්ෂක අධිකාරියේ එම නිවස පිහිටි ප‍්‍රදේශය භාර නිලධාරියා ද දැනුම් දී ඇත.

නිවසේ සේවය කරමින් සිටි මෙම දැරිය බරපතළ පිලිස්සුම් තුවාල සහිතව ඉකුත් 3 වැනිදා රෝහල් ගත කෙරුණු අතර 15 වැනිදා ඇය මිය ගියා.